Pages

Sunday, December 25, 2011

මොහාන් පීරිස් සාක්‍ෂියට කැඳවයි


මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා 2010 දෙසැම්බර් 20 වැනිදා සිට අතුරුදහන් කර තිබීම සම්බන්ධයෙන් ගොනු කර ඇති ‘හබයාස්කෝපුස්’ නඩුවේ සාක්‍ෂිකාරයෙකු ලෙස කැබිනට් මණ්ඩලයේ නීති උපදේශක හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා කැඳවීමට හෝමාගම මහේස්ත‍්‍රාත්වරයා තීරණය කර ඇත.
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ පාර්ශ්වයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මහේස්ත‍්‍රාත්වරයා මෙම තීරණය ලබාදී ඇති අතර, ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා විරුද්ධත්වය ප‍්‍රකාශ කර තිබේ.


ජනවාරි 12 වැනිදා පැවැත්වීමට නියමිත අභියාචනාධිකරණයේ ‘හබයාස්කෝපුස්’ නඩුවට එම විරුද්ධත්වය ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහේස්ත‍්‍රාත්වරයා රජයේ නීතීඥවරයාට දන්වා ඇත.
මේ අතර සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සිය සැමියාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් වූ විමර්ශනය සඳහා මොහාන් පීරිස් මහතා කැඳවන ලෙසට මීට පෙර කර ඇති ඉල්ලීමට කිසිදු පිළිතුරක් නොලද බව සඳහන් කරමින් එම ඉල්ලීම ඇතුළත් ලිපියක් 2011 දෙසැම්බර් 22 දින සහිතව ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිවරයාට යොමු කර තිබේ.
එම ලිපියේ පිටපත් මානව හිමිකම් කොමිසන් සභාවේ සියලූ කොමසාරිස්වරුන්ට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අතුරුදහන්වීම් පිළිබඳ කි‍්‍රයාකාරී කමිටුවට මෙන්ම, එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි කමිටුවටද යොමු කර තිබේ.


Source : lankanewsweb.com