Pages

Wednesday, January 18, 2012

කැබිනට් සංශෝධනය 'බකල්කළ' මාධ්‍යට ඇමතිවරු තුතිපුදයි


ජනවාරි 17වනදා අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියලූ කටයුතු සූදානම් කර තිබිය දී සමහරක් මාධ්‍ය ඒ පිළිබඳ අභ්‍යන්තර කාරණා හෙළිදරව් කිරීම නිසා ජනාධිපතිවරයාගේ වෑයම අසාර්ථක වූ බවත්, ඒ පිළිබඳ බහුතරයක් ඇමතිවරු අදාළ මාධ්‍යන්ට ප්‍රශංසා කරන බවත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු අප වෙත පැවසීය.

ජනාධිපතිවරයා පසුගිය බදාදා අග්‍රාමාත්‍ය දී.මූ ජයරත්න කැදවා අගමැති ධුරටය වෙනස් කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳ දැනුම් දී තිබිණ. අග්‍රාමාත්‍ය ධුරය චමල් රාජපක්ෂ මහතා වෙත පැවරීමට මුලදී තීරණය කර තිබූ ජනාධිපතිවරයා තම බිරිඳගෙන් එල්ල වූ බලපෑම් හමුවේ එම තීරණයද වෙනස් කොට රත්නසිරි වික්‍රමනායක මහතා යළි අගමැති කිරීමටත් තීරණය කර තිබිණ.


කෙසේ වුවද මේ වනවිට අමාත්‍ය මණ්ඩල සංශෝධන දින නියමයකින් තොරව කල් දමා ඇතැයි අප වෙත තොරතුරු ලබාදුන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේවනවිට අපවෙත වාර්තාවෙන පරිදි විදේශ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, විදුලි බල, ඛනිජ තෙල් හා ක්‍රීඩා අමත්‍යාංශවල විෂය භාර අමාත්‍යවරුන් වෙන් කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වී තිබේ.
මේ සම්බන්ධ පුවත් විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ලංකා සී නිවුස් වෙබ් අඩවියේද ජනාධිපතිවරයාට හිතවත් පෞද්ගලික පුවත්පත් කිහිපයකද කරුණු කාරණා සහිතව වාර්තා කර තිබිණ.
එම අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක මහතා ඊයේ පාර්ලිමේන්තුව තුළදී කතානායකවරයාගෙන් ප්‍රශ්න කර සිටි අතර එහිදී කතානායකවරයා පැවසූයේ එම වාර්තා පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන බවයි