Pages

Saturday, October 20, 2012

ගවමස් රස වැටුණ බලු රෑනක් මිනිසුන් පන්න පන්නා කති




ගවමස් කොටස් නැතිදාට පළාතේ එළු , වසු පැටවුන් මරා කෑමට පුරුදු වූ සුනඛයන් පනහකට අධික සංඛ්‍යාවක් මිනිසුන් ද පන්නා, පන්නා සපා කෑමට පටන් ගෙන තිබීම නිසා කැකිරාව, පුබ්බෝගම, බණ්ඩාරපොතාන ගම්මානයේ ජනතාව භීතියට පත් වී සිටිති. අද (19) දවසේ එගම බල්ලන් විසින් සපා කෑ පාසල් සිසුවකු ඇතුළු තිදෙනෙක් දඹුල්ල රෝහලට රැගෙන ආ අතර පාසල් සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇත. බණ්ඩාරපොතාන ප්‍රදේශයේ ගව ඝාතනාගාරයක් පවත්වා ගෙන යනු ලැබේ. එහි විසි කරනු ලබන ගවයින්ගේ මංශ කොටස් අනුභව කරන්නට පුරුදු වූ සුනඛයන් පනහකට අධික සංඛ්‍යාවක් ගව ඝාතනාගාරය වටා රොක් වී සිටිති. පසුගිය මාස පහක කාලයේ දී ගව මස් කොටස් නැති දිනවලදී මෙම සුනඛයන් විසින් ඒ අවට නිවාසවල වෙසෙන එළු සහ වසු පැටවුන් පනහකට අධික සංඛ්‍යාවක් මරා අනුභව කර තිබෙන බව පළාත්වාසීන් කියති. ගව මස් කොටස් සහ එළු,වසු පැටවුන් සොයා ගන්නට බැරි වූ විට ලේ රස වැටුන මෙම සුනඛයින් පළාතේ මිනිසුන් පසුපස පන්නමින් ඔවුන් සපා කන්නට දැන් පුරුදු වී සිටීම බිහිසුණු තත්ත්වයක් බව පළාත්වාසීන් කියති. වහාම මෙම සුනඛ උවදුර මැඬ පවත්වන ලෙස පළාත්වාසීන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

- අශෝක එරමිණිගම්මන (දඹුල්ල)