අද (25) දින යේසුස් ක්‍රිස්තුගේ උපත සමරන සියල්ලන් සමඟින් මා නත්තලේ ප්‍රීතිය බෙදාගන්නේ ඉමහත් සතුටිනි.
මනුෂ්‍ය සංහතිය සඳහා නත්තලේ කතන්දරයෙහි විශිෂ්ට අර්ථයක් ඇත. බෙත්ලෙහෙමේ ගවහලක දෙවියන්ගේ පුත්‍රයා වූ යේසුස් ක්‍රිස්තුගේ උපත මේ උත්සව සමයේ නත්තල් සීනු නාදයත් සමඟ පැතිරෙන නිහතමානීත්වය. දයාව හා බෙදාහදා ගැනීමේ පණිවුඩය ප්‍රබල ලෙස සිහිගන්වන්නකි.
ක්‍රිස්තියානි දයාවට දුප්පතුන් හා සාමාන්‍ය ජනයා සමඟ ප්‍රබල බැදීමක් ඇති බවටත්, එය අප සමඟ මේ ලෝකය බෙදාගන්නා අනෙක් සියලු ම සත්ත්වයින්ටත් දැක්විය යුතු බවටත් ජේසු බිළිඳා බැටළුවන් මධ්‍යයෙහි ඉපිද පිදුරු ඔරුවක වැතිර සිටීම, දෙවියන්ගේ පුත්‍රයාට පළමු පඬුරු එඬේරුන් විසින් පුද කිරීම ආදියෙන් පෙනේ.
දයාව හා පරිත්‍යාගය පතුරුවන මෙම කාලයේ දී ජාතිය, ජන වර්ගය, ආගම, කුලය, ධනවත්කම හෝ සමාජ තරාතිරම යන මේ කුමකින් වුව ද මිනිසුන් බෙදාදමන බාධක කඩා දැමීමට ක්‍රිස්තියානීහු බලාපොරොත්තු වෙති.