ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ‘ද ෆිනෑන්ස්’ සමාගමේ කොටස් මිලදී ගැනීම ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව සිදු වූවක් බව හැඟවීමට ජනාධිපතිවරයාට හිතවත් පෞද්ගලික මාධ්‍ය කිහිපයක් බලවත් උත්සාහයක් දැරූවද, එය පැහැදිලිවම ජනාධිපතිවරයාගේ මග පෙන්වීම මත සිදු වූ දේශපාලන කුමන්ත‍්‍රණයක් බව අප අවධාරණය කර සිටිමු.
අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය මෙල්ල කර තබා ගැනීම මෙම කුමන්ත‍්‍රණයේ මූලික ඉලක්කය වී තිබේ. අගවිනිසුරුවරිය රාජපක්‍ෂවරුන්ගේ අතකොළුවක් ලෙස පසුගිය කාලය තුළ ප‍්‍රසිද්ධියේම කටයුතු කළේය. එහෙත්, රට තුළ නීතිය කෙරෙහි විශ්වාසය දිනෙන් දින පළුඳු වෙමින් පවතින බැවින්, අධිකරණය කෙරෙහි යළිත් විශ්වාසයක් ඇති වන පරිදි කටයුතු කිරීමේ වැදගත්කම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කිහිපදෙනෙකු ඇය වෙත පසුගියදා අවධාරණය කර තිබේ.