මෙවර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූයේ විභාග දෙපාර්තමේන්තුවේ නිරුවත ලොවටම පෙන්වමිනි. විභාග ඉතිහාසය තුළ විභාග දෙපාර්තමේන්තුව ලක්වූ දරුණුතම නින්දාවට ඇද දමමින් මෙතෙක් අතිශය විශ්වසනීය වූ නිකැළැල් විභාග ක්රියාපරිපාටියම බින්දුවට ඇද දැමීමට සමත් වූ සිදුවීම විභාග කොමසාරිස්වරයාගේ නොකටයුතුකම් ලැයිස්තුව ද තවදුරටත් තරකළේය. විභාග කොමසාරිස්වරයා සේවයෙන් ඉවත් වීමට ඔන්න මෙන්න කියා තිබියදී උසස් පෙළ ප්‍රතිඵල අවුල් සහගත ලෙස පිට කිරීමට වගකිවයුත්තාද කොමසාරිස්වරයාම බව දසතින් චෝදනා එල්ල විය. විභාග කොමසාරිස්වරයා කොරහත් බිඳගෙනම යන්නට යන බව ඇතැම්හු කීහ.
සිසුන් දෙලක්ෂ අනූ හතර දහස් අටසිය හැට එකක් පෙනී සිටි 2011 උසස් පෙළ විභාගය අගෝස්තු 8 වනදා සිට සැප්තැම්බර් 3වනදා දක්වා පැවැත්වුණු අතර සිසුහු විෂය නිර්දේශ දෙකක් යටතේ විභාගයට පෙනීසිටියහ. ඉන් එක්ලක්ෂ හතලිස් හත් දහස් හත්සිය හැට එකක් නව නිර්දේශය යටතේද එක්ලක්ෂ හතලිස් හත්දහස් හත්සියයක් පැරණි නිර්දේශය යටතේද විභාගයට මුහුණ දුන්හ. විභාගය හාහුවක් නොමැතිව පැවැත්වුණද විභාගය අවසන් වූ දා සිටම විභාගයේ අවුල් විවිධ පාර්ශවයන් විසින් පෙන්වා දෙන්නට විය. සිංහල ප්‍රශ්න පත්‍රය සකස්කළ ආචාර්ය මණ්ඩලයේ ආධුනික ස්වරූපය ගැනත් ආර්ථික විද්‍යාව ඇතුළු තවත් ප්‍රශ්න පත්‍ර රැසකට විෂය නිර්දේශයේ නොවූ මහින්ද චින්තන ප්රතිපත්තියත් අන්තර්ගත වූ බවට චෝදනා නැගෙන්නට විය. පුංචි පුංචි කළු පැල්ලම් මෙවර උසස් පෙළ විභාගයට මුල සිටම එක් වූවද ටික කලෙකින් සියල්ල අමතක වී ගියේය.
