ඔබට යුක්තිය කෙසේවෙතත් රාජපක්ෂයානු ලංකාවේ යථාව සම්මුඛ වී ඇත.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යනු අද්‍යතන දේශපාලන රඟමඬලෙහි දිදුළන ගිනිසිලූවකි. මෙයින් සත් මසකට පෙර දිනෙක හදිසියේ ඇය මෙසේ දිදුළන ගිනිසිලූවක් ලෙස පොලාපැන්නේ ඛේදවාචකයක ගිනියම මැදිණි. දේශපාලන ප්‍රචණ්ඩත්වය නිදන්ගත රෝගයක් වූ අපේ වැනි වැඩවසම් සමාජවල අතිබහුතරයක් ස්තී්‍රන් දේශපාලන - සමාජ තලයේ ගිනිසිලූ බවට පත්වන්නේ එවැනි ඛේදවාචක මැදින් වීමේ ඉරණම, ඒ අනුව ඇයටද පොදුවී තිබේ.
ලාංකේය දේශපාලන ගොහොරුවේ සේම මාධ්‍ය කවචයේද වඩාත්ම දිදුළන ගිනිසිළුවක් වීමට අවශ්‍ය ආකර්ෂණීය රුව පමණක් නොව, මාධ්‍යයේද, දේශපාලනයේද හොඳින් අලෙවි වන කටක්ද ඇය සතුය. මේ ගිනිසිළුව අලූ පොදක් හෝ ඉතිරි නොකරම වියැකීයාද, නැතිනම් තියුණු අවියකට පන්නරය දෙන අග්නි ප්‍රවාහයක් වේද යන්න ගැන වෛෂයික කරුණු විසින් පෙන්වන අනුමානයකට යාහැකි වුවත්, මේ ලිපියේ මුඛ්‍යාර්ථය එය නොවේ.