පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා කොළඹ කොටස් වෙළෙඳ පොළේ කොටස් මිලදී ගැනීමේදී දේශපාලන බලය යොදා ගනිමින් කටයුතු කර ඇති බවට හෙළිදරව් වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව තීරණය කර ඇත. මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව නියෝජ්‍ය කතානායකවරයා වෙත දැනුම් දී තිබේ.
කොටස් වෙළෙඳ පොළේ සමාගම්වල කොටස් මිලදී ගැනීමේදී නියෝජ්‍ය කතානායකවරයා දේශපාලන බලය අනිසි ලෙස යොදා ගනිමින් අයුතු ලෙස කටයුතු කර ඇති බවට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙත පැමිණිලි රාශියක් ලැබී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
පසුගිය වකවානුවේදී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කිහිපදෙනෙකුම කොටස් වෙළෙඳ පොළේ මුදල් ආයෝජනය කර වංචනික ලෙස කොටස් මිලදී ගෙන ඇත. පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතාද රුපියල් කෝටි ගණනක මුදලක් එසේ ආයෝජනය කර තිබේ. එහෙත් ඔහු විසින් ආයෝජනය කළ මුදලින් එතරම් වාසියක් ලැබී නැතැයිද වාර්තා වේ.
කෙසේ වුවද, නියෝජ්‍ය කතානායකවරයා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු සිදු කිරීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න මහතාට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇත.
Source - lankanewsweb.com