Chitika Smowtion 468x60


Saturday, December 31, 2011

රාජ්‍ය සේවයේ යුතුකම් ඉටු කිරීම රාජ්‍ය සේවකයින්ගේ වගකීමයි


Admin Service New Recruits spchරාජ්‍ය සේවකයන් සිය රාජකාරී කටයුතු ඉටු කිරීමේ දී තම දේශපාලනය හා සම්බන්ධ පාට, පක්‍ෂ බේද නොසලකා රටේ මහජනයා වෙනුවෙන් ගෞරවනීය සේවයක් ලබා දීම තම වගකීමක් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

රටේ පොදු මහජනයාගේ දැවෙන ප‍්‍රශ්නවලින් මුදා ගෙන ඔවුන්ගේ කඳුළු පිසඳාලීම සඳහා මහත් කැපවීමකින් රාජකාරියේ නියැළෙමින් රාජ්‍ය සේවයේ ගෞරවනීයත්වය ආරක්‍ෂා කර ගත යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ, ශ‍්‍රී ලංකා පරිපාලන සේවය සඳහා බඳවා ගත් නවක නිලධාරීන් 296 දෙනෙකු සිය රාජකාරී ඇරඹීමට මත්තෙන් අද (30) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනක දී ය.


රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීමේ විභාග ක‍්‍රමානුකූල ව නොපැවැත් වූ යුගය අවසන් කරමින් රජය විසින් වර්තමානයේ දී ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන, වසරක් පාසා විභාග පවත්වමින් පුරප්පාඩු පුරවා රාජ්‍ය සේවය විධිමත් කිරීම සඳහා අවශ්‍ය සියලු ක‍්‍රියාමාර්ග ගෙන ඇති බව ද ජනාධිපතිතුමා මෙහි දී පැවසීය.

එමෙන් ම රාජ්‍ය සේවය සඳහා උපාධිධාරීන් 15,000ක් කඩිනමින් බඳවා ගැනීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගෙන ඇති බව ද සඳහන් කළ ජනාධිපතිතුමා, ලක්‍ෂ 07ක් වූ එවක රාජ්‍ය සේවකයින් අද වන විට ලක්‍ෂ 13ක් දක්වා වැඩි කර ගැනීමට හැකි වූ බව ද පැවසීය.

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතු යැයි ඇතැම් විදේශීය බලපෑම් පවා පැමිණෙද්දී එසේ නොකර එවකට පෞද්ගලීකරණය කළ ආයතන පවා යළි රජයට පවරා ගනිමින් ලාභ උපයන තත්ත්වයට පත් කර රාජ්‍ය සේවයේ ස්ථාවරත්වය රජය විසින් ආරක්‍ෂා කළ බව පෙන්වා දුන් ජනාධිපතිතුමා, රාජ්‍ය සේවයේ වගකීම් නිසි ලෙස ඉටු කිරීම රාජ්‍ය සේවකයින්ගේ යුතුකම බව ද ප‍්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කර සිටියේ, චෝදනාවන්ට ලක් නොවී අල්ලසින් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවකයින් පිරිසක් බිහි විය යුතු බවයි. සිංහල, දෙමළ මෙන් ම ඉංග‍්‍රීසි භාෂාවන් ද මනාව හසුරවමින් දිවයිනේ  ඕනෑ ම ප‍්‍රදේශයක සිට රාජ්‍ය සේවයේ යෙදීමට රාජ්‍ය සේවකයින් සුදුස්සන් විය යුතු බවත්, රටේ දැවැන්ත සංවර්ධන කාර්යභාරයක් ඉටු කරන  පිරිසක් ලෙස රාජ්‍ය සේවකයින් පත් විය යුතු බවත් පෙන්වා දුන්නේ ය.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම අවස්ථාවට එක් වෙමින්, ආශ්චර්යමත් දේශයක් කරා රට ගමන් කරන මේ මොහොතේ ශ‍්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික ගමන්මග වඩාත් පැහැදිලි බව ජාත්‍යන්තර ප‍්‍රජාව පවා පිළිගෙන ඇති බැව් ප‍්‍රකාශ කර සිටියේ ය.

රාජ්‍ය සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරියෙකු වූ ඒ.පී.ඒ. ගුණසේකර මහතා මෙහිදී විශේෂ දේශනයක් ද පැවැත්වූ අතර, අමාත්‍යාංශ ලේකම් පී.බී. අබේකෝන් මහතා ද මෙහි දී අදහස් දැක්වීය.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නවක පත්වීම්ලාභීන්ගේ දෙමාපියෝ ද එක් ව සිටියහ.
02
03 copy
04
05

HC/NP_pmu
Source : news.lk

Share this article with your friends