සුනාමි ආධාර ලෙස විදේශ විනිමය විශාල ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවට ලැබුණු අවස්ථාවේදී සහ ශ‍්‍රී ලංකාව මහා පරිමානයෙන් ආයුධ මිලට ගත් අවස්ථාවල ශ‍්‍රී ලාංකිකයන් විසින් ස්විස්ටර්ලන්තයේ රහස්‍ය බැංකු තුල විශාල වශයෙන් මුදල් තැන්පත් කිරීමේ ඉහළ යෑමක් දක්නට ඇති බව ස්විස් ෆෙඩරල් බැංකුව විසින් වර්ෂ 2002-2010 කාලවකවානුව සඳහා ප‍්‍රකාශයට පත්කළ බැංකු වාර්තාවෙන් පෙනී යන බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
2004 දෙසැම්බර් අගසතියේදී ශ‍්‍රී ලංකාවට බලපෑ සුනාමි ව්‍යසනය හේතුවෙන් විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් 2005 වසරේ ශ‍්‍රී ලංකාවට ලැබිණ. ඉන් බහුතරය පූර්ව කොන්දේසී හෝ ගිවිසුම්වලින් තොරව සෘජුවම ලැබුණු විදේශ ආධාර විය. මෙම ආධාර ප‍්‍රමාණයෙන් 30% කට වැඩි ප‍්‍රමාණයක් දූෂණයට සහ වංචාවට ගොදුරුවූ බව මාධ්‍ය මගින් අනාවරනය කර තිබිණ. එයින් ප‍්‍රමුඛතම සිදුවීම වූයේ සුනාමි ආධාර ලෙස ලැබුනු රුපියල් අට කෝටි විසි ලක්ෂයක මුදලක් එවක අග‍්‍රාමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමක තැන්පත් කිරීමය. ‘හෙල්පින් හම්බන්තොට’ ලෙස ප‍්‍රසිද්ධියට පත් මෙම සිදුවීමට අදාලව පැවති පරීක්ෂණද පසුව නතර කර දැමිණ.