පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්
2012 ශ‍්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව පසුබිමෙහි මෙයට වසර 25කට පෙර මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම ( UN CHR) ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කළ යෝජනාවත් එම යෝජනාවට හේතු සාදක වූ කරුණු කාරණාත් යළි සළකා බැලීම වැදගත් ය.
ඒ මන්ද යත් වසර 25කට පසු ආපසු ශ‍්‍රී ලංකාව යළි එතැනටම පැමිණ ඇති සෙයක් පෙනෙන නිසා මෙන්ම වත්මන් යෝජනාවට එරෙහිව රාජපක්ෂ ආණ්ඩුව විසින් මතු කරනු ලබන විවේචන ද එම පසුබිමෙහි විමසා බැලිය හැකි නිසා ය.
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම ආරම්භ කරන ලද්දේ 1946 දෙසැම්බර් 10දා ය. ඒ එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සංස්කෘතික කවුන්සිලය යටතේ ය. මුල් කාලයෙහි එනම් 1967 දක්වා ම මෙම කොමිසම අනුගමනය කළේ මැදිහත් නොවීමේ සහ හුදු සහාය වීමේ පිළිවෙතකි. එනම් මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම උදෙසා රාජ්‍යයන්ට සහාය වීමේ පිළිවෙතකි. එනමුත් 1967 දී කොමිසම මානව හිමිකම් කෙළෙසීම් ගවේෂනය කරමින් වාර්තා ඉදිරිපත් කරන මැදිහත් වීමේ පිළිවෙතට ගමන් කළා ය. ඊට හේතුව වූයේ යටත්විජිතහරණයේ ප‍්‍රතිපලයක් ලෙස බිහිවු නව නිදහස් රටවල් එ.ජා. සංවිධානයෙන් මානව හිමිකම් අරභයා සක‍්‍රීය භූමිකාවක් අපේක්ෂා කළ නිසා බව කියනු ලැබේ. ඊට උදාහරණයක් දකුණු අප‍්‍රිකාවේ රජකළ වර්ගවාදයට විරුද්ධ වීමේ අවශ්‍යතාවය යි. 1980 ගනන් වන විට කොමිසම මානව හිමිකම් සුරුකීම සඳහා සුවිශේෂිත වූ කමිටු පිහිටුවීම අරඹා තිබුණි.