Chitika Smowtion 468x60


Thursday, March 15, 2012

මාර්ග අංක 332 (ගම්පහ-යාගොඩ) පුද්ගලික බස්රථ සේවය පිලිබඳවයි


මෑතකදී ඉදිකල ලංකාවේ සුපිරිතම පක්‍ෂ කාර්යාලය වන ගම්පහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කාර්යාලය පිහිටා ඇති ගම්පහ ඔරුතොට ප්‍රදේශය හරහා දිවෙන මාර්ග අංක 332 (ගම්පහ - පහල යාගොඩ) පුද්ගලික බස්රථ සේවය පිලිබඳ කෙරෙන විමසුමකි මේ. 

පක්‍ෂ කාර්යාලය සුපිරි හා එයට පැමිණීමට ඇති මාර්ගය සුපිරි වුවත් ඒවෙත පැමිණීමට ඇති බස්රථ සේවය ඉතාමත් අකාර්යයක්‍ෂම වේ. පෞද්ගලික බස්රථ හතරකින් පමණක් සමන්විත වන 332 බස් සේවය, බස්රථ හිමිකරුවන්ගේ ආදිපත්‍යයට යටවී ඉතා ශෝකජනක ඉරණමකට ගොදුරුව පවතී. ගම්පහ සිට බැලුම්මහරට දිවෙන එක් ලංගම බස් රථයක් පැවතුනද එහි සේවයද ගම්පහ-යාගොඩ මාර්ගයේ බොහෝ මගීන්ට නොලැබී යයි. 


වරින් වර මැතිවරණ ආසන්නයේදී දේශපාලඥයන්ගේ අවධානය දිනාගෙන ලංගම බස් රථයක් සේවයට එක්කලද බොහෝවිට එය ආරම්භ කල දවසට පමණක් සීමාවූයේ පෞද්ගලික බස් හිමියන්ගේ තර්ජන හා දේශපාලන සම්බන්ධකම් හේතුවෙනි. 

මෑතකදී නව පෞද්ගලික බස් රථයකට ධාවනයට අවසර ලබාදුන්නද අනෙක් බස්රථ වර්ජනයේ නියැලීමෙන් එයද කඩාකප්පල් කර දැමූහ. අබලන් තත්වයේ පවතින බස්රථ සඳහා ගම්පහ පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත්වඇති 332 ඉතා කෙටිදුර ප්‍රමාණවලටද වැඩි ගාස්තු අයකිරීමෙන්ද‘ජනාදරයට’ පත්ව ඇත. 

මෑතක් වන තුරුම ‘දුවන මාරකයක්' වූ බස්රථයක් මාර්ගයේ ධාවනයට එක්ව තිබූ අතර, එය වරින් වර පොලිස් අත්අඩංගුවට පත්වුවද යම් පෞද්ගලික සම්බන්දතා මත නැවත සේවයේ යෙදුනි. එම බස් රථයේ හිමිකරු මෑතකදී නවතම බස් රථයක් මිලදී ගැනීමෙන් ප්‍රදේශවාසීන් සැනසුම් සුසුම් හෙලුයේ තම ජීවිත සුරක්‍ෂිත වූවා යැයි හැඟීමෙනි. 


නමුත් එයින් සිදුවූයේද කබලෙන් ලිපට වැටීමකි. මන්දයත් ඉතා ආත්මාර්තකාමී රියදුරෙකු වූ ඔහු මගී ජනතාව ගැන නොසලකමින් නව බස් රථය විනෝද ගමන් ආදී පෞද්ගලික ගමන් සඳහා යෙදවීම හේතුවෙනි. කැබ් රථ සේවයක ආධාරයෙන් මෙසේ පෞද්ගලික ගමන් සඳහා බස් රථය යොදවන ඔහු, එසේ නොමැති දිනවලදී පමණක් මාර්ගයේ ධාවනයේ යෙදෙයි. 

වලංගු මාර්ග ධාවන බලපත්‍රයක් ලබාගෙන තිබියදී එසේ කිරීම නීති විරෝධී මෙන්ම අතිශය පිලිකුල්සහගත වේ. ඔහු ප්‍රදේශය පුරා ප්‍රකටව ඇත්තේ නමට මුලින් ‘බලු' කෑල්ලක් එකතු වීමෙනි. ඒ රථයට බල්ලන් යටකිරීම ඔහුගේ විනෝදාංශයක් වූ නිසාය.

එසේම ඉරිදා දින වල බස්රථ ධාවනයක් සිදුනොවේ. මෙම දුර්වල බස්රථ සේවය නිසා පක්‍ෂ කාර්යාලයට පිටපළාත් වලින් පැමිණෙන්නන් මෙන්ම ප්‍රදේශවාසීන්ද අපමණ ගැහැටක් විඳී. ගම්පහ සිට බැලුම්මහරට ඉක්මනින් ලඟාවිය හැකි කාපට් යෙදූ සුපිරි මාවතක්ද හිමි, ලංකාවේ සුපිරි පක්‍ෂ කාර්යාලය මෙන්ම සුපිරි ව්‍යායාම් මංතීරුවක්ද පිහිටා ඇති ගම්පහ නගරාසන්න ප්‍රදේශයක බස්රථ සේවය මෙතරම් අවිධිමත් තත්වයක පැවතීම ඉතාම කණගාටුදායකය. 


අදාල බලධාරීන් මර නින්දේදැයි අප නොදනිමු. එහෙත් ප්‍රදේශයේ දේශපාලන බලවතුන්ගේ හෝ අවධානය මේවෙත යොමු කරවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. එයින් පාසල් ළමුන්ට, කාර්යාල සේවකයන්ට මෙන්ම නිදහස් පක්‍ෂ සාමාජිකයන්ටද ඉමහත් සේවයක් සිදුවන බවනම් සහතිකය.

- 332 බස් මාර්ගයේ අසරණ මගීන්




Source: http://www.gossip9.com/2012/03/332.html#ixzz1pBLsEtv4
 

Share this article with your friends