සුවහසක් කණාමැදිරියන්ගේ සිරුරු පිටුපස ඇති එළි පුංජ නිවි නිවී දැල්වෙයි. ඝනඅන්ධකාරයට වැසී ගිය හරිත නිරය තනිකරම ගුප්ත අපූර්ව ලෝකයක් බව එකී කණාමැදිරි එලි පුංජලෝකයට රහසේ මුමුනයි.
සමස්ත හරිත නිරය පුරාවටම තැනින් තැන දැල්වෙන අමුතු අමුතු එළි පුංජය. මේ එළි පුංජ උන් හිටි ගමන් කඩාවැටෙයි. හරියටම පාළු අහසක කඩා වැටෙන තරු කැකුළු සේමය. එහෙත් මේ එළිවලත් තරු වලත් වෙනසක් තිබේ. තරුව කඩාවැටෙන අතරතුරදීම දැවී අවසාන වෙයි. එහෙත් මේ අද්භූත ”තරු” පොළවටම පතිත වෙයි.
මේ තාරකා මොනවාදැයි දන්නේ මේ හරිත නිරය නම් වූ මහා වනමැද වෙසෙන ගෝත‍්‍රිකයකු හෝ මේ වනයේ ටික කලක් ජීවත්වූවකු හෝ පමණි. ඇත්තවශයෙන්ම ඒ තරු නොවේ. යෝධ රැ බදුල්ලන්ය.
කණාමැදිරියන්ට මෙන්ම රැ බදුල්ලන්ටද රාත‍්‍රියේ දැඩි අඳුර මකාගත හැකි තරම් මඳ ආලෝකයක් දෙවියන් දී තිබෙයි.
රැහැයියන්ගේ හඬ මහා ඝෝෂාවක් වැන්න. ඒ අතරට එකතුවූ සහසක් කෘමීන්ගේ පුංචි පුංචි හඬවලූත් මේ රාත‍්‍රියට එකතු වී තිබේ.