තුවාල වූ මේජර්වරයාකිවයුත්ත කෙලින්ම පවසමින් වත්මන් රජය හමුවේ අමුවෙන්ම සටහනක් තැබීමට දැන් කාලය පැමිණ ඇතැයි අපට සිතේ. එහෙයින් අපි ඒ සටහන මෙසේ ආරම්භ කරමු.
කාලයක සිට විටන් විට මේ රටේ ඇතැම් දේශපාලන අප්පොච්චිලාගේ පුංචි බේබිලා ජනතාවට කොකම්පාමින් පිස්සු කෙළින අයුරු අපි බොහෝ අවස්ථාවල රජයට පැහැදිලිව පෙන්වා දුන්නෙමු.
එහිදී යකා සහ යකාගේ පුත්තු මෙන්ම උන් වටේ සිටින යක්ෂ සේනාවන් පිළිබඳ රජයට ඇඟිල්ලෙන්ම ඇන කියා දීමටද කටයුතු කෙරුවෙමු. නමුත් දිගින් දිගටම සිදු වූයේ කුමක්ද?
අප කොතෙක් කරුණු පෙන්වා දුන්නද රජය සැමදා සිටියේ යකුන්ට විමාන තනන ප්රතිපත්තියේමය. එහෙයින් යකාත්, යකාගේ පුතුන් සේම සේනාවෝත් කිසිදු බාධාවකින් තොරව රිසි සේ ඩෙඟා නටන්නට වූහ. ඒවායින් කම්පා වූයේ සහ බැට කෑවේ රටේ ජනතාවය. නමුත් ආණ්ඩුවට එහි වගේ වගක් නොවීය.
මෙකී යකුන් සහ යක්ෂ පුත්රයන් ඩෙඟා නටන කල්හි රටේ නීතිය වළපල්ලට ගියේය. එහෙත් කුමකින් කුමක් සිදු වුවත් අන්ධයාට සැරයටිය සේ යකාවම බදා ගනිමින් රජය දිගටම කළේ යකුන් සමග දීග කෑම විය.
රජයේ ඉහත ප්රතිපත්තිය හමුවේ මේ වන විට සිදු වෙමින් තිබෙන්නේ කුමක්ද? මෙතෙක් ඩෙඟා නටමින් සිටි පෙර කී යකුන්, යක්ෂ පුත්රයන් සහ සේනාවෝ දැන් මහින්ද රාජපක්ෂ රජය නන්නත්තාර කර එය උඩු යටිකුරු කරමින් සිටින්නාහ. එසේ කරන අතරේ උන් ආණ්ඩුව යකුන් නැටූ සොහොන් පිටියක් බවටද පත්කරන්නාහ.
