Chitika Smowtion 468x60


Thursday, September 27, 2012

බැංකු ණය ගෙවන්න සැමියා දුන් මුදල් බිරිය යටි මඩි ගසා ඉඩමත් අහිමි වෙයි


බැංකු ණය ගෙවීමට සැමියා මාසිකව දුන් මුදල් පස් වසරක් තිස්සේ යටිමඩි ගැසූ බිරියක නිසා දේපළ ඉඩකඩම් වෙන්දේසියේ විකිණීමට යාමේ පුවතක් මීරිගම ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
සැමියා හමුදාවේය. පුලස්තිපුර පැත්තේ තරුණියක සමග ඔහු විවාහ වූයේ කලකට පෙරය. පියාගේ නිවසේ දෙදෙනා පදිංචි වූවත් දරුවා ලද පසු වෙනම නිවසක් අවශ්‍ය බව බිරිය නිතර සැමියාට කීවාය.
සැමියා ණය මුදලක් ලබා ගන්නට සමුපකාරයේ පිහිට පැතීය. ඉඩමේ අයිතිය තමන්ට නැති කමින් ණය ගැනීමේ අදහස පසුවට කල් තැබූවත් පියා ඉඩම පරවා දුන්නේය.
අනතුරුව ඉඩම ඇපයට තබා ගත් ණය මුදලින් නව නිවස හැදීම ඇරැඹිණි. නිවස ටිකෙන් ටික ඉදිවෙද්දී සැමියා මාසිකව බිරිය අත මුදල් තැබූයේ ණය වාරිකය ගෙවන්නටය.

පසුගිය දිනක සැමියාගේ පියා හමුවීමට ගියේ වෙනත් අවශ්‍යතාවකටය. පුතාගේ ණය මුදලේ ගෙවා ඇත්තේ වාරික හයක් පමණක් බවත් පස් වසරකින් ශතයක්වත් ගෙවා නැති බවත් එහිදී ඔහුට දැනගන්නට ලැබිණ. ඉඩම වෙන්දේසියට සූදානම් බව දැනගත් පියා එය නවතන ලෙස ඉල්ලා ගෙදර ගොස් මේ ගැන පරීක්‍ෂා කළේය.
බැංකු පොතේ නිසි පරිදි ගෙවූ මුදල් සටහන්ව ඇති බව ලේලිය කීවාය. ඇය මාමණ්ඩියට පොත පෙරළා පෙන්නුවාය. මේ ගැන බලන්නට සමුපකාරයට යමුයි කී ඇය දරුවා පාසලට රැගෙන ගියාය.
ලේලිය එනතුරු බලා සිටියත් ඇය නාවේය. පියා මේ ගැන පුතුටද දන්වා පොලිසියේ පැමිණිල්ලක් සටහන් කළේය. බැංකු පොතේ සටහන් තබා ඇත්තේ ලේලිය විසින්ම බවද හෙළිවිය.
දින ගණනක් ගත වූවත් ලේලිය ගැන තොරතුරක් නැත. ඇය අසල්වැසියන්ගෙන්ද මුදල් ණයට ගෙන ඇති බව ආරංචි වූයේ මේ අතරය.
රැකියාවේ නිරත පුතු එනතුරු මුණුපුරා බලාගනිමින් පියා දැන් කල් ගත කරන්නේ මුදල් ගෙවා ඉඩම නිදහස් කරගන්නා ආකාරයක් කල්පනා කරමිනි


Source - http://www.lankadeepa.lk/index.php/articles/66687

Share this article with your friends