Chitika Smowtion 468x60


Sunday, January 29, 2012

අන්තර්ජාලයේ වෙබ් අඩවි ගැන නළු නිළියන් කියන කතා



අන්තරජාලයේ වෙබ් අඩවි ඔස්සේ නළු නිළියන්ගේ කීර්ති නාම වලට හානි කරමින් පුවත් පල කරන බවත්, ඇතැම් නළුවන්ගේ නම් නිළියන්ගේ නම් වලට පටබඳිමින් අභූත චෝදනා එල්ලකරන බවටත්, ඇතැම් නිලියන්ගේ ජායාරූප වෙනත් රූප වලට බද්ධ කර ඇති බවටත් චෝදනා කරමින් නළු නිළියන් කීපදෙනෙක් අද ලක්බිම පුවත්පතට අදහස් දක්වා තිබෙනවා. එම අදහස් පහතින්.


මම ජීවිතේට ෆේස්බුක් ගිහින් නෑ විශ්ව කොඩිකාර
අන්තර්ජාලයේ ඇතැම් වෙබ් අඩවි තුළ මටත් මඩ ප්‍රහාර දුන් අවස්ථා තියෙනවා. සමහර නිළියන්ව සම්බන්ධ කරලා අභූත චෝදනා එල්ල කරල තිබුණා. ඒ වගේම තවත් දෙයක් තමයි අන්තර් ජාලයේ ෆේස් බුක් හරහා මම විදියට චැට් කරපු අවස්ථාත් තිබුණා. ඒ අන්තර්ජාලය තමන් එක්ක චැට් කරපු අයට දිලා තිබුණෙ මගෙ දුරකතන අංකය. ඒ අය මට කතා කරද්දි තමයි මමත් එක දැනගත්තේ.

මම හිතන්නේ නැහැ නළුවෙක් තියා සමාජයෙ වගකීමක් ඇතිව ජීවත්වන කිසිම කෙනෙකු ඒ විදියට චැට් කරයි කියලා. ඒ ආකාරයට චැට් කරන්නේ විකෘති මානසික මට්ටම්වල අය. මේ වෙලාවේ මම දැඩි වගකීමෙන් කියන්න කැමතියි ජීවිතේට මම ෆේස් බුක් ගිහින් නැති බව. ඒ වගේමයි. අඩුම තරමින් මට ඊ මේල් එඩ්‍රස් එකක් වත් නැහැ.

මුලදී මේවට හිත රිදුනත් මම දැන් ඒවා ගණන් ගන්නෙ නැහැ. ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ. මගෙ වටිනාකමක් තියෙන හිංදයි මෙහෙම මට ගහන්නේ. එහෙම හිතල මම හිත හදාගන්නවා.

අන්තර්ජාලයේ තියෙන්නේ බොරු කියල මිනිස්සු දන්නවා - ධනංජය සිරිවර්ධන
එක්තරා ටෙලි නාට්‍යයක් රූ ගත කරන අතර තුරදී ඒ දර්ශන තලයෙන් අපව ඉවත් කළ බවත් අපි බඩු මුට්ටු රැගෙන පිටව ගිය බවත් එක්තරා අන්තර්ජාල වබේ අඩවියක පළ වුණා. ඒ ටෙලි නාට්‍යය නිර්මාණය කළේ නීතිඥ මහතෙක්. එතුමා මේ ගැන නීතිමය පියවර ගත් හිංදා ඒ අන්තර්ජාලය කළ වරදට සමාව ගත් බව පසුව පළ කළා.

ඒ කෙන්ම තේරෙනවා මේ දේවල් මෙවැනි අය වගකීමක් නැතිව කරන කියන දේවල් බව. අන්තර්ජාලවල පළවන දේවල් තුළ තියෙන බොරුව අද මිනිස්සු දකිනවා. ඒ නිසා මම නම් මගෙ ගැන වැරදි පුවතක් පළ වුණාට කලබල වෙන්නෙ නැහැ. පුවත්පත් මාධ්‍ය වල නම් වගකීමක් තියෙනවා. කර්තෘ කෙනෙක් ඉන්නවා.

ලැබෙන පුවතක් පත්තරේට ලියන මාධ්‍යවේදියෝ ඉන්නවා. අන්තර්ජාලවල ඒ මොකුත්ම නැහැ. ඕනෑම කෙනෙකුට තවත් කෙනෙකුට මඩ ගසන්න පුළුවන්. මේකේ අවසන් ප්‍රතිඵලය වන්නේ දවසක අපේ ක්‍ෂේත්‍රයේ එකට ඉන්න යාළු මිත්‍රයෝ පවා තමං ගැන වැරදි පුවත් අන්තර්ජාලයට දුන්නා කියලා අනෙක් කෙනා සමග අමනාපකම් ඇති කරගන්න මට්ටමට පත්වීම. ඒක හරිම ඛේදනීය තත්ත්වයක්.

ජනාධිපතිතුමා මැදිහත් වෙන්න ඕන උපේක්ෂා ස්වර්ණමාලි
මගෙ මූණ වෙනත් ශරීරයකට බද්ධ කරපු කැත පිංතූර වගයන් අන්තර්ජාලයේ පළ වී තිබුණා. මම පිටරට සංචාරයකට ගිය බවත් පළවූ පුවතක් වගේම නළුවන්ගෙ හා දේශපාලනඥයන්ගේ නම් සම්බන්ධ කරපු වැරදි ප්‍රවෘත්ති කිහිපයන් අන්තර්ජාලයේ පළවෙලා තිබුණා.

ඒ හැම ප්‍රවෘත්තියටම වඩා ප්‍රබල විදියට මගෙ හිත සසල වුණේ මගේ විවාහයේ දෙදරීම ගැන පළවූ පුවත. මගෙ සැමියා මට අඩන්තේට්ටම් කරන්නට හේතුව මගෙ වරදක් බවට පුවතක් පළවෙලා තිබුණා. ඒ සඳහා අවශ්‍ය නම් නීතිය ඉදිරියට යන්න වුණත් මට පුළුවන්.

ඒත් මම එහෙම නොකළේ මට ඊට විවේකයක් නැති හිංදා. මේ විදියේ වැරදි නිසා මම වගේම තවත් අය අපහසුතාවයට පත් වුණ අවස්ථා තියෙනවා. ඒත් නීතිය ඉදිරියට ගිහින් සාධාරණයක් ඉටු කරගන්න කාලයක් ගතවෙන හිංදයි මේ හැමෝම නිහඬව ඉන්නේ. මේ අසාධාරණය වළකන්න රජය නිසි වැඩපිළිවෙළක් ගත යුතුයි කියා මා හිතනවා. අතිගරු ජනාධිපති තුමා ශ්‍රී ලාංකීය අසභ්‍ය වෙබ් අඩවි නවතගන්න කටයුතු කළා. මෙවැනි ප්‍රවෘත්ති පළවිම වළකන්නටත් නිසි වැඩ පිළිවෙළක් ඉදිරියේදී ඇතිකරනවා නම් ඉතා වටිනවා.

අසහනකාරයන්ට එරෙහිව නැගිසිටින්න - රොෂාන් රණවන
මම ශ්‍රී ලංකාවේ කඩවසම් තරුණයා විදියට තේරිලා ජාත්‍යන්තර තරගය නියෝජනය කළා. ජාත්‍යන්තර තරගයේ එක් තරග වටයක උඩුකය නිරාවරණය කරලා නාන ඇඳුමින් පෙනී සිටින්න වෙනවා. ඒක ඒ තරගයේ ස්වභාවය බව ඕනෑම කෙනෙක් දන්නවා. එතැනදී ගත්තු ඡායාරූප පිටුපස වේදිකාවේ අදාළ ලෝගෝ එක පවා සටහන් වෙනවා. ඒත් මේ පිංතූර පාවිච්චි කරලා නවීන තාක්ෂණයේ බල මහිමයෙන් වෙනත් ඡායාරූප හා බද්ධ කරලා කැත පිංතූර නිර්මාණ කරලා අන්තර්ජාලයේ එක්තරා වෙබ් අඩවියක පළ කොට තිබුණා.

මම මේ සිදුවීම නිසා දැඩි අපහසුතාවයට පත් වුණා. හිතවත් කෙනෙකු ගෙන් ආරංචිය දැනගත්තට පස්සෙ තමයි මමත් එය දැක්කේ. ඒ වෙලාවේ මම අදාළ වෙබ් අඩවියට ඒ ගැන දැනුම් දීමක් කළාම ඒ අය ඒ මොහොතේම ඒ පිංතූරය ඉවත් කර තිබුණා. ඇත්තටම මේ වැනි දේට වගකිවයුත්තේ වෙබ් අඩවිය නමෛයි.

මෙවැනි දේ කරන විකෘති මානසික මට්ටම්වල ඉන්න අය. අද තියෙන තාක්ෂණය දන්න ඕනෑම කෙනෙකුට මෙවැනි දෙයක් නිර්මාණය කරලා අන්තර්ජාලයට දාන්න පුළුවන්. ඇතැම් වෙබ් අඩවි පාලනය වන්නේ පිටරටවල් හරහා. එවැනි අවස්ථාවල අර මුලින් කී විදියට ක්‍රියා මාර්ගයක් ගන්න බැරි වන අවස්ථාත් තියෙනවා. එහිදී අපිට තනිවම අපහසුතාවයට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේ යම් මානසික අසහනකාරයන්ගෙ වෙබ් අඩවියකත්, මගේ ඡායාරූප පළ කර තිබුණා. ඒක මානසික අසහනකාරයෙකුගේ වැඩක් වුණත් ඒ විදියේ වෙබ් අඩවි අන්තර්ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන හිංදා ඊට විරුද්ධව කරන්න දෙයක් නැහැ.

ඒ කොහොම වුණත් මෙවැනි අවස්ථාවලදී අපිට හැකි පමණික් හෝ මේවාට එරෙහිව නැගී සිටිය යුතු බවයි මගෙ නම් අදහස. එසේ නොමැති අවස්ථාවල නම් මෙවැනි අසහනකාරයන්ට එරෙහිව නැගී සිටිය යුතුයි. ඉදිරියේදී හෝ අපේ නළු නිළි පිරිස මේ වගේ අසාධාරණයන්ට එරෙහිව හඬක් නගන්නට එකතුවනවා නම් එහි පෙරමුණ ගන්නට වුණත් මම සූදානම්.

ලංකරලා බැලුවම මම නෙවෙයි - චතුරිකා පීරිස්
පිටරටින් ගෙන්වූ වීඩියෝ ක්ලිප් එකකට මගෙ නම යොදලා අන්තර්ජාලයේ පළ වූ පුවතක් කාලෙකට පෙර දැකගන්න ලැබුණා. මමත් එය නැරඹුවා. ඒකේ දුර රූපවල මගෙ හැඩරුව තිබුණට ළංකරල බැලුවම පෙනෙනවා එතැන ඉන්නේ මම නොවන බව. ඒ අවස්ථාවේ ඒ ගැන හිත රිදිලා නීතිය ඉදිරියටත් ගියා.

ඒත් ඉතින් වීඩියෝ ක්ලිප් එකකට නමක් ගහපු කෙනෙක්ව හොයා ගන්න බැහැනේ. දැන්නම් එවැනි සිදුවීම් මම ගණන් ගන්නෙ නැහැ. අපේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකුට දර්ශන තලයේදි මම යි අපේ තව නිළියකුයි හු කියා කියලා වැරදි පුවතක් මෑතකදි පළවුණා. අපේ නළු පරපුරේ අය අතරින් මගෙ නමට ඈඳූ අයගේ ලැයිස්තුවක්ම තියෙනවා. මේ වගෙ දේවල් කරන්නේ යම් මානසික විකෘතීන්ගෙන් පෙළෙන අය. ඒ අයට මේක විශාල තෘප්තියක්.

ඒ තෘප්තිය ලබා දීලා පිනක් කරගත්තා කියලා අද මම හිත හදාගන්නවා. මෙවැනි දේට බඳුන් වූ නවක පිරිසටත් මම කියන්නේ එහෙම හිතලා හිත හදාගන්න කියලා. එහෙම නැතුව වෙන මොනා කරන්නද? මේ වගෙ දේවල් වළකගන්න පියවරක්. නැහැනේ.






Source: http://www.gossip9.com/2012/01/blog-post_9441.html#ixzz1krdHNuCE

Share this article with your friends