ආණ්ඩුව ලොකුවට මැයිදිනය තියන්න දැඟළුවත්, අවස්ථාවාදී වමටත් එය එපා වෙලා වගේ. වාසුදේවලා මහින්දගේ රජයේ ජරාව වහන්න කටයුතු කලත් බොරුවට හරි වෙනම මැයිදිනයක් පවත්වන්න යනව. අන්තිම මොහොතේ ජනාධිපතිගෙන් කණේපාරක් වැදුනහම මේ බොරු දැඟලිල්ල නවත්වල ආණ්ඩුවේ මැයිදිනයටම බලූ කුක්කකෝ වගේ එකතු වෙන්න ඉඩ තියෙනව. තමන්ගේ පකෂවල බිඳීයාම නවත්තගන්න වෙන විදියක් නෑ, කම්කරුවන් පොදු සටනකට යන එක නවත්තගන්න මේ විදිහට බොරු ස්වාධීන මැයිදිනයක් පවත්වන්න ඉඩදෙන්න කියල බැගෑපත්ව උන්නැහැල එකාධිපතිට වැඳ වැටිල කියනව ඇති.
වාසුලා කරවනදේම මේ යටකී වෘත්තීය සමිති නායකයොත් දේශපාලනයෙන් තොරව කරල දෙන නිසා ආයි වාසුලාට වෙනම නාඩගමක් කරන්න අවශ්‍ය නෑ. ඒ වැඩේ හරියට කරවන ජෝසා මහත්තයයි, සමන් මහත්තයයි, අමරපාල මහත්තයයි දැන් හොඳට සෙට් වෙලා ඉන්නේ. අර කථාවක් තියෙනවනේ හොඳ හොඳ අඩව් එළිවෙන ජාමෙට කියල. දැන් දේශපාලන වශයෙන් එළිවෙන ජාමය උදා වෙලා තියෙනව. අළුත් උදාවක් ජනතා ව්‍යාපාරය තුලට ඇවිත් තියෙනව ආණ්ඩුවේ ජාතිවාදී අබින් කාපු අයත් දැන් සිහිය ඇවිල්ල ඈනුම් අරින්න පටන් අරන් තියෙනව. කොච්චරද කියනවනම් වාසුදේවට බැල මෙහෙකම් කරපු අයත් දැන් ටිකක් ඈත් වෙන්න පටන් අරන්.
අනෙක් අතට මහින්ද තේරුම් අරන් තියෙනව තමන්ට ඉන්න හොඳම යාළුවො ජාතිවාදී යුධවාදී සෙට් එකක් කියල. ඒ අයට ගැලපෙන දේවල් කොහොමහරි කර දීමට ආණ්ඩුව පියවර ගන්නව. රැල්ල වමට යන එක නවත්වන්න ජාතිවාදී ආගම්වාදී පෙරලි ඇති කිරීම හොඳ බවයි ඒ අය කියන්නේ.
දැන් අළුත් විදියට දඹුල්ලට ගිහින් තලගොයි මරන්නට පටන් අරන්. රන්ගිරි දඹුලූ විහාරය අසල මුස්ලිම් පල්ලියක් ඇතිවුනේ හුඟක් ඉස්සර. ඒකට ඉඩමත් අරන් තියෙන්නේ ඔප්පු තිරප්පු එක්කම නීතියට අනුව. ඒත් දැන් ඒකට බලෙන් පැනල පහරදීල වනසා දමන්න පිරිසක් කටයුතු කලා. මේක ඉහලින් උදව් ලැබුන වැඩ පිළිවෙලක්. ඒක මේ අළුත් මහින්ද චින්තනය අනුව සිදුවෙච්ච දෙයක් හැටියටයි කාටත්් ඔප්පුවෙලා තියෙන්නේ. බලය ඛෙදා ජාතික ප්‍රශ්නය විසදීමට එන බල පෑමට විරුද්ධව මේ විදියට ජාතිවාදී ඇවිස්සීම් කිරීම තුලින් ආණ්ඩුව තුල ඉන්න බොරු වාම කාරයින්ගේ රෙදි ගැල වෙන්න පටන් අරන්. ඒතියා පවුසිලාට අලවි මවුලානටවත් එතන ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනව.
කාරනේ එහෙමනම් වාසුදේවලා එතැන ඉන්නේ ඉතාම අමාරුවෙන්. කොහිල ගහේ නැගතත් මිනිස්සු වගේ. මේ විදිහට කරුණු කාරණා යෙදිල තියෙන නිසා දැන් ලොකු හිදැසක් දේශපාලන බිමේ මතුවෙලා. ඒක පුරවන්න ජනතාවිමුක්ති පෙරමුණට බැ. මොකද ඒ අය මහින්දගේ ආගමනයට ලොකුවට කරගහගත්ත බව ජනතාවට අමතකවෙලා නෑ. ඒ නිසා තමන් ආපුමගේ ජරාව හෙලිදරව් නොකර ඒ අයට යන්න අතක් නෑ. මේ විදියට ජනතා විමුක්ති පෙරමුණ හිරවුන නිසයි එය තුල ඇත්ත වැටහුන කොටසක් කැරලි ගැහැසුවේ.
ඒ අය දැක්කා විය යුතුයි මේ නායකයින් දමාගත් ජාතිවාදී හංවඩුව උඩ මේ අයට වමේ සන්ධානයක් ගොඩනගන්න බෑ. ඒ වගේම එහෙම නැතිව වමේ ගමනකුත් හිතාගන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ ඛෙදිල තියෙන්නේ මේ අමාරු ප්‍රශ්න නිසායි. අනෙක් අතට එක්සත් ජාතික පකෂට මේ ගැටළු කාරී තත්ත්වයට මුහුණ දෙන්න සිදුවෙලා.
හුඟ දෙනෙක් දන්නව යුඇන්පිය තුල පිල් ඛෙදීමක් තියෙනව කියල. එත් ඒකට හේතුව දන්නේ නෑ. හේතුව තමා ජාතිවාදී යුධවාදී මථවාදය. රනිල් උන්නැහේ දෙමල ජනතාවගේ අරගලය තුල ඇති ජාතික ගැටළුව ගැන කල්පනා කරල යුද්ධයට විරුද්ධවුනා. සජිත් එයට විරුද්ධව යුධවාදයට ආසිර්වාද කරන්නටත් සාමයට ලැදි අයට තර්ජනය කරන්නත් විවිධ තැන්වලදී යොමුවුනා. මේ උඩ දැන් ඒ පකෂයත් ඛෙදිලා. ඒ නිසා ඇත්තටම වමේ විකල්පයක් මගින් මේ තත්ත්වයට අභියෝග කලොත් එය එය ශක්තිමත් විකල්පයක් වෙනව.
ඒ අනුව මේ රජයේ ජාතිවාදී හා ගෝලීය ධනවාදයට යටවුන ප්‍රතිපත්තියට විරුද්ධවූ වමේ විකල්පයක් අවශ්‍යයම වෙලාවක්. මේ නිසාම ජනතා විමුක්ති පෙරමුණ බිඳගෙනයි මේ විකල්ප සංවර්ධනය ඇතිවුනේ. ඒක පුදුම වෙන්න දෙයක් නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය අදට අවශ්‍යයවූ ගමන යන්න සූදානම් නුවූ නිසා ඒ අය බිඳගෙන විකල්පයක් මතුවීම විය යුත්තක්.
Source - lankanewsweb.com