Chitika Smowtion 468x60


Wednesday, July 25, 2012

පිරිමිකමට වෛර කොට පිරිමියකු වූ ගැහැණියක්



'තනි තටුවෙන් පියාඹන්න' චිත්‍රපටයට තේමා වුයේ පිරිමි වෙස් ගත කාන්තාවක් සමාජය ඉදිරියේ පෙනී සිටියදී මුහුණ පෑ සිදුවීම් පෙලෙකි. එහෙත් එම චිත්‍රපටය විචාරයට ලක් කල සිනමා විචාරකයන් පෙන්වා දුන්නේ මෙවැනි කතාවක් කල්පිතයක් මිස කිසි දිනෙක සමාජයේ සිදුවිය හැක්කක් නොවන බවයි.

එහෙත් පිරිමි වෙස් ගෙන සමාජය ඉදිරියේ වසර විසිපහකට අධික කාලයක් පෙනී සිටින චරිතයක් පසුගිය දිනකදී අපට හමුවිය. අඳුර වැටුන පසු තරුණියකට නිරුපද්‍රිතව මහ මඟ බැසයාමට දුෂ්කර සමාජ වටපිටාවක් සහිත රටක වසර විසිපහකට අධික කාලයක් නිරුපද්‍රිතව පිරිමි චරිතයක් රඟපෑ මේ තරුණිය අපූරු චරිතයකි.

අති සමීප පුද්ගලයන් "කාන්ති" යන ආදර නාමයෙන්ද ඔහු පිලිබඳ නොදන්නා පිරිස "පෙරේරා" යන නාමයෙන්ද හඳුන්වන මේ චරිතය අපට හඳුන්වා දෙනු ලැබුවේ මහරගම නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වූ සේනක කළුබෝවිල මහතා විසිනි.

කෙස් වැටිය කොටට කපා, දිගු කලිසම සහ කමිසය හැඳ සිටි මේ පුද්ගලයා දුටු පළමු වර අප මොහොතක් ඔහු දෙස ඇසි පිය නොසලා බලා සිටියේ ඔහු සැබෑ ලෙසම තරුණියක්ද යන ගැටලුව සිත තුල පිළිසිඳගත් හෙයිනි. එය අවබෝධ කරගත් කළුබෝවිල මහතා ඔහුගේ කන්පෙති අපට පෙන්විය. එහි කන් විද තිබු සලකුණු සටහන්ව තිබුණි. එහෙත් එම කරාබු සිදුරු මේ වන විට වැසීගොස් කළුපාට සලකුණු පමණක් පෙනෙන්නට තිබුණි. ඒ අනුව ප්‍රථම වරට ඔහු දෙස කාන්තාවක් ලෙසින් බැලීමට අප පෙළඹුණි.

සිය මිතුරන් හමුවේ සිය අතීත ආවර්ජනය කිරීමට ඔහු මැලිකමක් දැක්වූ නිසාම ඔහුගේ කුඩා කාමරය වෙත ඔහු සමඟ යාමට සිදුවිය.

"මේ කතාව පන්නිපිටියේ සමහරුන්ට නම් රහසක් නොවේ. එත් වළ දමා තිබු අතීතයක් යලි ගොඩ ගන්න කොට මට ටිකක් කල්පනා කරන්න වෙනවා. එත් මිතුරන් ඉදිරියේ ඒ දේ කිරීම දුෂ්කරයි. ඒකයි මම මේ පාළු කාමරයට එන්න කැමති වුණේ." ඔහු සිය ආත්ම කථනයට ප්‍රස්තාවනාව එක් කලේ එසේය.

"මට මතක අතීතයේදී මගේ අම්මා මිය ගිහින්. එත් මට නංගි කෙනෙකුත් ඉන්නවා. මට මගේ අම්ම ගැන ඇත්තේ මතක චායාවක් විතරයි. මම දන්නා කාලයේ ඉඳන් තාත්ත අසනීප වෙලා හිටියේ. ඒ කාලයේ දැන් වගේ නොවේ. අපේ දෙමාපියන්ගේ සහෝදරයොත් හිටියේ එක ගෙදරමයි. ඒ නිසා අපගේ අඩුපාඩු සොයා බැලුවේ ඒ නෑදෑයෝ තමයි. මම දෙපානම කනිෂ්ඨ විද්‍යාලයේ අට වැනි පන්තිය දක්වා ඉගෙනුම ලැබුවා.

ඔය කාලයේම දහම් පාසල් ගියේ පන්නිපිටිය පරණ පාරේ "පරම ධම්ම" විහාරයටයි. ඒ පන්සලේදී මම එතන තිබු ස්වේච්චා සෞඛ්‍ය සංවිධානට බැඳුනා. මම වගේම තවත් ගැණු ළමයි කිහිප දෙනෙක්ම එම සංවිධානයට බැඳුනා."

ඒ කාලයේ ඔබ ගවොම හැඳි කොණ්ඩය වැවු ලස්සන ගැහැණු ළමයෙක්.......?" මම විමසීමි.

"ලස්සන ද මන්දා මම ඒ කාලයේ කොණ්ඩය වවල තිබුනේ. ගවුම තමයි ඇන්දේ.. හැබැයි පොඩි දඟකාර ගතියක් අනෙක් ළමයින්ට වැඩ මට තිබුණා කියල අද මට හිතෙනවා."

එදා ඔබ වැඩිවියට පැමිණි අවස්ථාව ඔබට මතකද?

"ඔව් හොඳට මතකයි. මම ලොකු ළමයෙක් වු වෙලාවේ නැකතක් නොමැතිව මම දින දාහතරක් කාමරයක හිර කරලා තිබ්බා. මගේ කොටහළු නැකත අනුව මම මේ සියලු දේ එපා වෙලා පිටවී යනවා කියල තිබුණා. ගෙදර අය හිතුවේ මම දසසිල් මාතාවක් වෙයි කියල. මොකද මම ඒ කාලයේ පන්සල් යන්න පින් දහම් කරන්න හරි ලැදියාවක් දැක්වූවා."

ඔබ කාන්තාවක් හැටියට සිටියදී තරුණයන් ඔබ සමඟ ප්‍රේම සම්බන්ධයකට උත්සාහ කලේ නැද්ද?

කොහොමත් ගමේ කොල්ලන් ගැන අපිට ඒ කාලේ ඒ තරම් උනන්දුවක් තිබුනේ නෑ. පන්සලේ උනත් දහම් පාසලේ ළමයි එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න ආශාවක් තිබුනේ නෑ. පන්සලේ "රෙඩ් ක්‍රොස්" එකෙන් සෞඛ්‍ය වැඩසටහනකට ගිය වෙලාවක හමුදාවේ දෙන්නෙක් මටයි මගේ යාලුවෙකුටයි "ට්‍රයි" කළා... මම ඒ තරම් එක ගණන් ගත්තේ නෑ. එත් මගේ යාලු ගැහැණු ළමය එක්කෙනෙක් එක්ක යාළු වුණා.

පහු කලෙක අපි පාදුක්කේ තිබු හෝටලයකදී ඒ අයත් එක්ක ලිංගිකව එක් වුණා. කිහිප අවස්ථාවකදීම ඒ හෝටලයේදීම එක් වුණා. ඊට පස්සේ අපි දෙන්නම ගැබ් ගත්තා. මගේ මිතුරිය සමාජයට මුහුණ දෙන්න බැරිව වහ බීලා මැරුණා. මම සමාජයෙන් වසන් වෙලා ඉඳල කොහොමහරි පුතෙක් බිහි කළා.

"අපිව අනාථ කළ හමුදා සෙබළුන් දෙදෙනාම අපිව මඟහැර ගියා. මගේ මිතුරිය වහ බී එකට ජිවිතයෙන් වන්දි ගෙව්වා..... එකේදී මට මුළු පිරිමි සංහතියම ගැන කලකිරීමක් ඇති වුණා. ඒ කලකිරීම පසුව වෛරයක් බවට පත් වුණා..... ඔය අතරෙදි මගේ පුතා මාස නමයකට පසු මම නෙදර්ලන්ත පවුලකට දරුකමට හදාගන්න දුන්නා....."

"සැමියා නොමැති තරුණ මවුවරුන් පිළිබඳව පිරිමින් උනන්දු වනවා වැඩියි. ඔබට එවැනි තත්ත්වයක් ඇති වුනේ නැද්ද?"

"මොකද නැත්තේ ආවා.... එත් ඒ වෙනකොට මට ප්‍රේමයේ මිත්‍යාව අවබෝධ වෙලා තිබුණා. පියෙක් නොමැති දරුවෙක් කුස තුල තබාගෙන සිටි මාස නමය පුරාම මට ප්‍රේමය පිළිබඳව මහා කලකිරීමක් ඇති වුණා. දරුවා බිහිකළ පසු පිරිමින් මා පසු පස ඒවි කියල මන් අපේක්ෂා කළා. ඒ වගේම ආවා. මට ඒ පිරිමින් පෙනුණේ. අර බැල්ලියක් පිටුපස ඉවකර යන බල්ලන් වගේ......"

එතකොට ඔය කාලය වන විට ඔබට කාම පිපාසයක් ඇති වුනේ නැද්ද?

"නෑ මට ඉන්පසු කාම පිපාසයක් දැනුනේම නෑ. මට දැනුනේ කාම කලකිරීමක්. ඒ තුලින් මම කල්පනා කලේ මේ ගැහැණු කමෙන් මිදෙන ක්‍රමයක්. හරියට ඉපදීමෙන් මිදීමට නිවන අවබෝධ කරගත යුතුයි වගේ මේ වගේ ගැහැණු කමින් මිදී ජිවත්වන ක්‍රමයක් මම කල්පනා කළා. පිරිමි ආධිපත්‍ය තියෙන සමාජයක ගැහැනුකම ගොදුරක්...... මේ ගොදුරු බවින් මිදෙන්න ක්‍රමයක් මම කල්පනා කළා."

ඒ කාලයේ සමහර ගැබිණි කාන්තාවන් දකින කොට මට හැඟුනේ තවත් පිරිමින්ට ගොදුරු වූ තරුණියක් විදියට. ඒ නිසාම පිරිමි සමාජයට වෛර කරමින් මම ගැඹුරට කල්පනා කළා. සමහර ගැහැනුන් පිරිමි සමාජයට වෛර කිරීමට වෛශ්‍යා වෘත්තියට යොමු වුණා. එත් මට එක පෙනුනේ තව තවත් පිරිමි හමුවේ දීන භාවයට පත්වන ආකාරයකි. සිද්ධාර්ථ කුමාරය වසර හයක් දුෂ්කර ක්‍රියා කරලා, නිවන් මඟ අවබෝධ කරගත් ආකාරයට මම මාස කිහිපයක් කල්පනා කරලා ගැහැනියක් හැටියට පුරුෂාධිපත්‍යයෙන් මිදීමට මගක් සොයා ගත්තා. එක තමයි පිරිමි සමාජයේ පිරිමියෙකු ලෙස වෙස්වලා ජිවත් වීම.

"එහිදී ඇතිවූ අභියෝග මොනවද?"

"එතැනදී නම් අභියෝග එල්ල වුයේ පිරිමි සමාජයෙන් නොවේ. ගැහැණු සමාජයෙන්. කොණ්ඩය කොටට කපන කොට, ගවුම අත හැරලා සරම අඳින කොට, මට හිනා වුනේ ගැහැණුයි. පිරිමි නොවේ. මම ගැහැණු ළමයෙකු විදියට ඉන්න කාලයේදීත් සටන් කිරීමට ප්‍රිය කළා. ගැහැව්වොත් ගැහුව්වා. බැන්නොත් බැන්නා. ඉතින් මගේ ඒ ගති ගුණ පිරිමියෙකු ලෙස වෙනස් වීමේදී මට ලොකු සහයෝගයක් වුණා. ඒ නිසාම මාව මුලින්ම පිළිගත්තේ පාතාල සමාජය. ඒ නිසාම මට කාලයක් කුඩු විකිනීමට විකිනීමට සිදු වුණා. කසිප්පු විකිනීමට සිදුවුණා. පසුව ක්‍රම ක්‍රමයෙන් සමාජ ගතවීම පහසු වුණා. පාතාල සමාජය ඇසුරු කිරීම නිසා මට අත උස්සන්න එන්න කවුරුවත් ඉදිරිපත් වුන් නෑ...."

අද මම මේසන් බස්වරුන්ගේ ගෝල වැඩක ඉඳල, පිරිමි වෙහෙස මහන්සිවී කරන සම කම්කරු රැකියාවක්ම කරනවා. කිසිම තැනක මා ගැහැණියකු ලෙස හඳුනා ගැනීමට මම ඉඩ තියල නැහැ. කව්රු හරි මා ගැහැණු කෙනෙක් කියල කිව්වත් අද එක පිළි නොගන්න තත්ත්වයට මම සමාජය තුල පිරිම චරිතය තුල හොඳට ජිවත් වී තිබෙනවා.

"කාන්තා සිරුරු තුළ සිදුවන ඔසප් වීමට ඔබ මුහුණ දෙන්නේ කෙසේද?"
ඉස්සර මුලදී මට එය කරදරයක් වුණා. එහෙත් දැන් ඒ අවස්ථා වලදී පළඳින උපකරණ අලෙවියට තිබෙන නිසා එය කරදරයක් නොවේ. එත් ඒ දවස් වල මම බර වැඩ කරන්නේ නෑ. එයින් වැලකී ඉන්නවා. ඒ දවස් වල මත්පැන් පානය කරන්නේ නෑ. "කේ. ජි." උරන්න යන්නේ නෑ. මල් අදින්නේ නෑ. "මුල් කාලයේදී මගේ පියයුරු ඉදිරිය නෙරා ඒම වැලක්වීමට සිරුරට තද කර ඇඳුම් යටින් ඇන්දා. දැන් එය පිටට නොපෙනෙන තත්ත්වයට පියයුරු සමතලා වෙලා. දැන් මගේ පපු පෙදෙස සාමාන්‍ය පිරිමියෙකු වගේ."

"ඔබ ප්‍රසුත කර විදේශ පවුලකට භාර දුන් ඔබගේ පුත්‍රයා දැන් කෝ....?"
"ඔහු මිට වසර කිහිපයකට පෙර මෙහි ආවා. ඔහු දැන් වැඩුණු තරුණයෙක්. ඔහු මා නෙදර්ලන්තයට ගෙන යාමට උත්සාහ කළා. මා ඊට කැමති වුයේ නෑ. පසුව ඔහු රට ගිහින් මට රුපියල් දස දහසක් මාස් පතා එවනු ලැබුවා. එහිදී මගේ මිත්‍රයෙක් ඒ මුදල් වංචා කර මට දුන්නේ රුපියල් දහසක් පමණයි. මෙය දැනගත් පසු මම මුදල් නොඑවන ලෙස පුතාට දැන්වුවා. එය මතු දවසක හොඳ විවාහයක් කරගෙන ලස්සන ජිවිතයක් ගත කරාවී.

"පිරිමියෙකු ලෙස වෙස් වළාගත් ඔබට අද ඇති ප්‍රශ්න මොනවද?"
"මම ශාරීරිකව වෙනස් නොවූ නිසා මට පිරිමි නමක් ලබාගත නොහැකි. මගේ හැඳුනුම්පතේ ඇත්තේ කාන්තා නමක්. ඡන්දය දෙනකොට, උසාවියේ නඩුවකට යනකොට මට පෙනී සිටීමට සිදුවන්නේ කාන්තා නමකින්. ඒ වෙලාවට කවුරුත් පුදුම විදියට මා දෙස බලා සිටිනවා. අන්න ඒ වෙලාවට මම හරි අසරණ වෙනවා. මට පිරිමි නමක් ලබාගැනීමට නීති උපදේශයක් ලබාදෙන නීතිඥ මහත්මයෙකු මේ ලිපිය කියවා මට පිළිසරණක් ලබාදෙනවා නම් එය මට කරන ලොකු උපකාරයක්......" ඇය අවසන් වරට ඉල්ලා සිටියාය. 


-ගාමිණී සරත් ගුණවර්ධන-










Source: http://www.gossip9.com/2012/07/blog-post_1027.html#ixzz21clCkGFv

Share this article with your friends