Chitika Smowtion 468x60


Thursday, August 23, 2012

සරණ ගුණවර්ධන ලක්ෂ 90ක තවත් කප්පමක් අරන්

ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට විරිද්ධව කප්පම් චෝදනා ඇත්තේ එකක් දෙකක් නොවේ.

ඔහුට විරුද්ධව ඊයේ පොලීස් මූලස්ථානය වෙත ලැබුණු අලුත්ම පැමිණිල්ල වූයේ හලාවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අබලි ද්‍රව්‍ය ඉවත් කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 96ක මුදලක් ලබාගැනීමයි.

එම මුදල් ඇමතිවරයා ලබාගන ඔහුට එම කොන්ත්‍රාත්තුව නොදී මඟ හැර තිබෙනවා. 




මීට පෙර නිට්ටඹුව හොරගොල්ල වත්තේ "ග්‍රීන් පාර්ක්" නිවාස සංකීර්ණයේ වැඩ යළි ඇරැඹීමට රුපියල් කෝටි 2 ක කප්පම් මුදලක් සරණ ගුණවර්ධන ගැනීමෙන් පසුව සරණ සහ ඔහුගේ ගෝලයෝ බැසිල්ගේ නම භාවිත කරමින් කළ තවත් කප්පම් ක්‍රියා පිළිබඳව ලිපියක් දිවයින පුවත්පතේ පලවී තිබුණා.

එම ලිපියේ කොටසක් පහතින්

"සරණගේ වසුරු වත පිළිබඳ කතා ප්‍රමාණය, කතා සරිත් සාගරය සේය. සංවර්ධන ලොතරැයි මණ්‌ඩලයේ සභාපති පුටුවේ සිට, ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේගේ මරණයෙන් හිස්‌වූ මන්ත්‍රී අසුනට පත්වී නියෝජ්‍ය ඇමැතිවරයකු වී සිටින මේ දක්‌වා සරණ කළ දූෂණ, මැරකම් එතරම්ය.

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා කතා කරමින් සිටියදී, විරුද්ධ පක්‍ෂය පැත්තට සරණ වතුර බෝතලයකින් දමා ගැසුවේය. එය විසිවී වැටුණේ ජනාධිපතිවරයා අසලටය. සරණට සති ගණනක පාර්ලිමේන්තු තහනමක්‌ පැනවිණි. ඒ සියලු දේ තිබුණත් සරණ තවමත් යහතින්ය.

සරණගේ දූෂිතභාවය හෙළිවන එක්‌ කතාවක්‌ අද ඉදිරිපත් කරන්නේ තවදුරටත් ඔහු මහජන නියෝජිතයකු, නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස සිටින්නේ නම් දිගින් දිගටම ඔහුගේ දූෂිත වත හෙළිකිරීමේ ආරම්භයක්‌ ලෙසය.

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ අත්තනගල්ල ආසනයේ වතුපිටිවල ප්‍රදේශයේ ආයෝජන සංවර්ධන කලාපයක්‌ පිහිටා තිබේ. ලංකා කේබල් නම් ආයතනයක්‌ එම කලාපයේ තමන්ගේ කර්මාන්ත ශාලාවක්‌ පවත්වා ගෙන ගොස්‌ ව්‍යාපාරය නවතා දමා කර්මාන්ත ශාලාව වසා දමා තිබිණි. වසා දැමූ කර්මාන්ත ශාලාවේ අමානෝ තහඩු, යකඩ ඇලුමිනියම් ආදියේ වටිනාකම දළ වශයෙන් රුපියල් කෝටි හතරක්‌ පමණ විය. ඉන්දියානු සමාගමක්‌ වූ එහි හිමිකරුට තර්ජනාංගුලිය එල්ල කර මේ සියලු දේපළ රුපියල් ලක්‍ෂ විසි පහකට තමා සතු කරගන්නට සරණ හා ඔහුගේ නඩය සමත් වී තිබිණි.

එතනම තිබෙන්නේ වංචාවකි. තමාගේ මහජන නියෝජිත බලතල පෙන්වා, ආසන සංවිධායක හයිය පෙන්වා රුපියල් ලක්‍ෂ 400 ක දෙයක්‌, රුපියල් ලක්‍ෂ විසි පහකට ගැනීම කෙතරම්, වංචාවක්‌ද? එතැන් සිට සරණ හා ඔහුගේ කල්ලිය පටන් ගන්නේ ඩීල් එකය. කර්මාන්ත ශාලාවේ තහඩු, යකඩ, ඇලුමිණියම් පෙන්වමින් එය විකුණන බව කියා කිහිප දෙනකුගෙන්ම සරණ හා ඔහුගේ කල්ලිය මුදල් ලබා ගත්තේය. ඒ සඳහා එක්‌ අයකුගෙන් ලක්‍ෂ පහළොවක්‌ පමණ ගනු ලැබීය.

හලාවත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන එස්‌. එච්. ආර්. රශ්මි හා තවත් දෙදෙනකුහට ගම්පහ කම්හලක්‌ යකඩ සඳහා විකිණීමට ඇති බව ආරංචි වන්නේ මේ අතරේය. ආරංචිය ලබා දෙන්නේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි හෙට්‌ටිආරච්චි නමැති බ්‍රෝකර්වරයකු විසිනි. අදාළ පිරිසට බ්‍රෝකර්වරයා විසින් මේ කටයුත්ත සඳහා හඳුන්වා දෙනු ලබන්නේ ඩී. ආර්. අජිත් කුමාර නමැත්තෙකි. වසා දැමූ ෆැක්‌ටරිය, යකඩ ලෙස විකුණන බවත් එම කොන්ත්‍රාත්තුව තමන්ට ලබාදිය හැකි බවත් ඔහු විසින් ගැනුම්කරුවන්ට පවසනු ලබයි.

අජිත් කුමාර තමාව හඳුන්වා දෙනු ලබන්නේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ආණ්‌ඩු පක්‍ෂයේ නායකයාගේ ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙසය. ඔහුගේ විසිටින් කාඩ්පතේ තිබෙන්නේද එසේය. රාජ්‍ය ලාංඡනය මුද්‍රණය කර ඇති එය බැලූ බැල්මට ව්‍යාජ කාඩ් පතක්‌ බව පෙනේ. තමාට එම ලොක්‌කා විසින් මෙම කොන්ත්‍රාත්තුව බාරදී ඇති බවත්, ඔහුට මේ සඳහා රුපියල් ලක්‍ෂ පනහක මුදලක්‌ ලබාදිය යුතු බවත් අජිත් විසින් පිරිසට පවසනු ලබයි. ඩී. ආර්. අජිත් කුමාර බියගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකි. ඔහු සරණගේ ගෝලයකු වුවත්, ජාවාරම් කටයුතු වලදී විකුණන ලද්දේ ගම්පහ ප්‍රබලයාගේ නමය.

කොන්ත්‍රාත්තුව බාර ගැනීම සඳහා ලක්‍ෂ පනහක මුදලක්‌ රැගෙන ප්‍රබලයා හමුවීමට ඔහුගේ ගෙදරට තමා සමග යැමට පැමිණෙන ලෙස අජිත් පිරිසට කියා සිටින්නේ මහන්තත්වයෙන් යුතුවය. තමාට ප්‍රබලයා සමග ඇති සම්බන්ධය තහවුරු කිරීම සඳහා ප්‍රබලයාට පිරිස ඉදිරියේ දුරකථන ඇමතුමක්‌ද අජිත් විසින් දෙනු ලබයි. "සර්, අර යකඩ ටික විකුණන්න මට කට්‌ටියක්‌ හම්බවුණා. මම ඒගොල්ලොත් එක්‌ක ලක්‍ෂ පනහකුත් අරගෙන හෙට ගෙදර එනවා."

අජිත් සමග ප්‍රබලයාගේ නිවසට යැමට කොන්ත්‍රාත්තුව අපේක්‍ෂා කරන පිරිස පැමිණෙන අතර අජිත් විසින් පිරිස රැගෙන යන්නේ සරණගේ ගෙදරටය. වැඩේ පිටුපස ඉන්නා සැබෑ ලොක්‌කා සරණ බව පිරිස දැනගන්නේ ඉන් පසුවය. රුපියල් ලක්‍ෂ 18 ක්‌ මුදලින් හා ඉතිරි ලක්‍ෂ 32 ක මුදල නේෂන්ස්‌ ට්‍රස්‌ට්‌ බැංකුවේ චෙක්‌පතකින් පිරිස සරණට බාර දුන්නේය. වැඩේට පහසුකම් සැපයීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 25 ක මුදලක්‌ අජිත් කුමාරද ලබා ගත්තේය.

මුදලින් ලබා දුන් රුපියල් ලක්‍ෂ 18 සරණ භාර ගත්තේය. ඒ වෙනුවෙන් පිරිස, භාර ගැනීමේ ලිපියක්‌ ඉල්ලීම හේතුවෙන් සරණගේ තවත් ගෝලයෙක්‌ වන අශෝක වීරක්‌කොඩි නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මුදල් භාරගත් බවට සරණ ඉදිරියේම ලියුමක්‌ ලබා දුන්නේය.

සරණ විසින් කොන්ත්‍රාත්කරුවන්ගෙන් තවත් කුට්‌ටියක්‌ කඩා ගැනීමට උපායක්‌ කල්පනා කළේය. අජිත් චෙක්‌ එක මාරු කරගෙන මට දුන්නේ, ලක්‍ෂ පහළොවක්‌ අඩුවෙන්. ඒක මට ඕනේ. ඒක දුන්නේ නැත්නම් වැඩේ දෙන්නේ නැහැ. කොන්ත්‍රාත්තුවේ තවත් හවුල්කරුවකු වූ නවුෂාඩ් රුපියල් ලක්‍ෂ පහළොවක්‌ 5% ක පොලියට සරණට ගෙනත්අ දෙන්නේ "කොහොම හරි වැඩේ කරගන්න ඕනෑ" යන අදහසිනි.

සරණ යලිත් වරක්‌ තවත් රුපියල් ලක්‍ෂ දහයක්‌ ඉල්ලුවේය. එය රුපියල් ලක්‍ෂ හය දක්‌වා අඩු කරගෙන එය සරණට දෙනු පිණිස අශෝක වීරක්‌කොඩිට ලබා දුන්නේය. සරණට ලබා දුන් රු. ලක්‍ෂ 18 සඳහා කුවිතාන්සි ලිපිය ලබා දුන්නේ මෙම අශෝක වීරක්‌කොඩිය.

කතාව කියවන කෙනකුට දැන් සිතෙන්නේ රුපියල් ලක්‍ෂ අනූ හයක මුදලක්‌ සරණට හා ගෝලයන්ට ලබා දුන් පසුව කොන්ත්‍රාත්කරුවෝ සතුටින් යකඩ ටික කපාගෙන විකුණාගන්නට ඇතැයි කියාය.

හොරුන්ගේ ක්‍රමය එහෙම වෙතත්, සරණ වැනි කම්බා හොරුන්ගේ ක්‍රමය එය නොවේ.

යකඩ කැපීම සඳහා අවශ්‍ය තාක්‍ෂණික උපාංග හා කම්කරුවන් රැගෙන පැමිණ එස්‌. එච්. ආර්. රශ්මි ඇතුළු පිරිස පැරණි කර්මාන්ත ශාලාවේ තිබූ අමානෝ තහඩු මුලින්ම ගලවන්නට පටන් ගත්තේය. ඒවා විකිණීම සඳහා "බයර්" කෙනෙකුද ඔවුන් සතුවිය. කර්මාන්ත ශාලාව සඳහා සරණ විසින් මුරකරුවකු යොදවා තිබිණි. ඔහුගේ නම ටිකිරි බණ්‌ඩාය. බඩු මිලදී ගන්නට ගැණුම්කරුවකු පැමිණි විටම ටිකිරි බණ්‌ඩා විසින් ඒ බව සරණට දැනුම් දෙයි.

"ඕකේ ඇති වෙන්න බඩු තියෙනවා. අමානෝ තහඩු ටිකේ සල්ලි මට ඕනේ" ඒ සරණ විසින් රශ්මිට දෙන විධානයය. මෙසේඅ සියලු බඩුවල සල්ලි අවසානයේ ගියේ සරණගේ සාක්‌කුවටය. රශ්මිගේ ගැනුම්කරුවන් හරහා සරණ ඔහුගේ ගෝලයන් එසේ ලබාගත් මුදල රුපියල් එක්‌ කෝටි අසූ ලක්‍ෂයක්‌ පමණ වේ. අන්තිමේදී රශ්මිට "අතිනුත් කයිට්‌" වී තිබිණි. යකඩ කැපීමට ගෙනා උපකරණ ඒ සඳහා යොදාගත් ශ්‍රමිකයන්ගේ ගාස්‌තු කොන්ත්‍රාත්තුව ලබා ගැනීම සඳහා සරණට හා ඔහුගේ ගෝලයන්ට ලබා දුන් මුදල් ආදිය බලන විට රශ්මි ඇතුළු පිරිස කර තිබුණේ "අතින් කාලා, හරක්‌ බලාගත්තා වගේ" වැඩක්‌ය.

මේ අඳෝනාව රශ්මි විසින් සරණට කියනා විට ඊට විකල්පයක්‌ද සරණ විසින් ලබා දුන්නේය. "සෝන් එකේ තියෙනවා, වනස්‌පති තෙල් හදපු පැක්‌ටිරියක්‌ වහලා දාලා. මම ඒකේ යකඩ ටික ඔයාට දෙන්නම්" එයත් සරණ විසින් තම බලය යොදවා ගන්නට හදන තවත් කර්මාන්ත ශාලාවකි. ඒ වැඩේද සරණ රශ්මිට කර දුන්නේ නැත.

රශ්මි ඊළඟට ගියේ ප්‍රබලයකුගේ ඩීල් එකක්‌ බව පවසමින් තමන් වෙත වැඩේ සම්බන්ධ කර දුන් බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. ආර්. අජිත් කුමාර වෙතය. "ඔයගොල්ලෝ මේක හැම තැනම කියන්න යන්න එපා. දන්නවනේ සරණ ලොක්‌කගේ හැටි.

............තුමාගෙත් නෑදැයොනේ. එයත් මෙයාට මුකුත් කියන්නේ නැහැ. අනිත් එක චණ්‌ඩියනේ. කතා කරලම වැඩේ ගොඩදාගන්න බලන්න" අජිත් පිළිතුරු දුන්නේය.

එයිනුත් වූ සෙතක්‌ නැති තැන අජිත් කුමාර සම්බන්ධ කර දුන් මාලිගාවත්තේ බ්‍රොඅකර් හෙට්‌ටිආරච්චිට රශ්මිලා කතා කළහ. "මම ඒ ගැන කතා කළා. රුපියල් ලක්‍ෂ තිස්‌ හය පහක්‌ දෙන්න. මම ලොක්‌කට කියලා ෂෙඩ් එකක්‌ අරගෙන දෙන්නම්" ඉගෙන ගත් පාඩමට තවත් රුපියල් ලක්‍ෂ තිස්‌පහක්‌ දෙන්නට රශ්මිලා කැමැති වූයේ නැත. 




මේ සරණ ගැන කතා පෙළේ පළමු කතාවය. සරණගේ හඬපට, ගෝලයන්ගේ හඬපට අදාළ ලියකියවිලි සහිතව මෙය ඔප්පු කළ හැක්‌කකි. මෙවැනි කතා, සරණ ගැන ඕනෑ තරම්ය. ඒවා ඉහළම තැන්වලටද අසාධාරණයට ලක්‌වූ මිනිසුන් විසින් දන්වා තිබේ. නමුත් සරණට ගැලවීම ලැබී තිබේ. ලොක්‌කන් සරණට දෙන බුරුල සරණ තේරුම්ගෙන තිබෙන්නේ, "ඔහොම යමං පුතා" කියන්නාසේ බව පෙනෙන්නේ, ඔහු තම වැඩපිළිවෙළ අඛණ්‌ඩව කරගෙන යැමෙනි.

සරණගේ ක්‍රියා පිළිවෙත ගැන අපි ඉහළ තැන්වලින් අසන්නේ එක්‌ ප්‍රශ්නයකි. උසාවිය ඔහුට සිතාසි නිකුත් කර තිබේ. කරන ලද වංචා, දූෂණ, ජඩකම්, මැරකම් ගැන ඕනෑතරම් සාක්‍ෂි තිබේ. නමුත් ඉහළම තැන් සරණ ගැන නොඇසූ කන්ය, ඇස්‌ අන්ධ යෝය, කට වසා ගෙනය. ඔවුන්ගේ ඇස්‌, කන්, කට ඇරෙන්නට අපි මහා හඬින් එක ප්‍රශ්නයක්‌ අසමු.

මේ මහින්ද චින්තනයද?"







Source: http://www.gossip9.com/2012/08/90.html#ixzz24LfABBdU

Share this article with your friends