Chitika Smowtion 468x60


Saturday, October 13, 2012

ෆොන්සේකාගේ නව පක්ෂයට එජාපය නෑ

කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණයක්!

සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18දා කොළඹ හයිඩ් පිටියේදී පිහිටුවීමට නියමිත නව දේශපාලන පක්ෂයට සහභාගි නොවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (12) ඒකමතිකව තීරණය කර ඇත.මෙම දේශපාලන පක්ෂය පිහිටුවීමට එක්සත් භික්ෂු පෙරමුණ ක්‍රියාකාරිව සිටිනවාය යනුවෙන් ප්‍රචාරයක් යන මුත් ඒ පෙරමුණේ වත්මන් සභාපති තිනියාවේ පාලිත හිමියන් ඊට මුල්වී නැතැයිද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අවධාරණයවී තිබේ.
පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් මෙම තින්දුවට පාර්ලිමේන්තු පළාත් සභා, පළාත් පාලන ආයතන නියෝජිතයන් මෙන්ම සියලුම ආසන සංවිධායකවරුන්ද සහභාගි නොවන බවට කෘත්‍යාධිකාරි මණ්ඩලය මෙහිදී විශ්වාසය පළකොට ඇත.
කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැය තුනකට ආසන්න කාලයක් ඊයේ පෙරවරුවේ පැවැත්විණි.
ඒකාබද්ධ විපක්ෂයට සරත් ෆොන්සේකා මහතා ඇතුළු ආණ්ඩු විරෝධී පාර්ශ්ව සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන් මෙහිදී තොරතුරු අනාවරණයවී ඇත. සරත් ෆොන්සේකා මහතාට ඒකාබද්ධ විපක්ෂයට පැමිණෙන ලෙස කළ විවෘත ආරාධනාව සම්බන්ධයෙන්ද කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී සමාලෝචනයක්ද කර ඇත.
පක්ෂ ව්‍යවස්ථාවට එකතුවූ පක්ෂ නායකත්වය වසර හයකින් තේරීම ඇතුළු සංශෝධන සම්බන්ධයෙන් තමාගේ එකඟත්වයක් නොමැති බව මෙහිදී පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කරුණු දක්වමින් ප්‍රකාශකොට තිබේ. මෙහිදී කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අදහසවී ඇත්තේ එම සංශෝධන සම්මත කළ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි නොවී දැන් ඒ ගැන කතා කිරීම සාධාරණ නොවන බවයි.
එසේ නමුත් දෙසැම්බර් 1දා පැවැත්වෙන පක්ෂ ජාතික මහා සම්මේලනයට යෝජනා හා වෙනස්කම් ගෙනා හැකි බවද මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය පෙන්වාදී තිබේ. තවද පක්ෂ ජාතික මහා සම්මේලනයට ආරාධනා කරන්නේ කුමන පදනමක්, කුමන නිර්ණායකයක් මුල්කරගෙනද යන්න පිළිබඳව පසුව තීරණයක් ගැනීමටද සාකච්ඡාවී ඇත.

- ලසන්ත වීරකුලසූරිය




Share this article with your friends