Chitika Smowtion 468x60


Friday, December 30, 2011

නව වසරට වැසිකිලි ගාස්තුවක්


කි‍්‍රයාත්මක කිරීම සඳහා කිහිප වරක් උත්සාහ කර විරෝධතා හේතුවෙන් අත්හැර දමන ලද මලාපවාහන ගාස්තු හෙවත් ගෘහස්ථ, කර්මාන්ත හා වාණිජ අංශයේ වැසිකිලි සඳහා එම පාරිභෝගිකයන් භාවිතා කරන ජල බිල්පත්වලට අනුව මාසිකව ගාස්තු අය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
ආණ්ඩුවේ මෙම තීරණය ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් 2011 දෙසැම්බර් 28 වන දින අංක 1738/7 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රයෙන් ප‍්‍රකාශයට පත් කර ඇති අතර, අදාළ මලාපවාහන හෙවත් වැසිකිලි ගාස්තු අය කිරීම 2012 ජනවාරි 01 වනදා සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සතු එම මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන හෝ මෙහෙයුම් හා නඩත්තු කටයුතු සිදු කරන ජලාපවාහන පද්ධතියට සම්බන්ධ ගෘහස්ථ, වාණිජ හා කර්මාන්ත පාරිභෝගිකයන්ගෙන් මෙම ගාස්තු අය කෙරේ.
ගාස්තු නොගෙවන පාරිභෝගිකයන්ගෙන් මලාපවාහන සැපයුම මෙන්ම, ජල සැපයුමද විසන්ධි කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව දෙහිවල, ගල්කිස්ස, මොරටුව, කෝට්ටේ, කොළොන්නාව, බත්තරමුල්ල, මත්තේගොඩ හා රද්දොළුගම, හික්කඩුව, හම්බන්තොට, කතරගම හා නුවර හන්තානේ යන ප‍්‍රදේශවල ඇති ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කි‍්‍රයාත්මක කරන මලාපවාහන පද්ධතිවලට සම්බන්ධ පාරිභෝගිකයන් මගින් ගාස්තු අය කිරීමට නියමිතය.
කොළඹ නගරය තුළ ඇති මලාපවාහන පද්ධතිය කොළඹ මහ නගර සභාව විසින් පාලනය කරනු ලබන හෙයින්, කොළඹ නගරයේ මලාපවාහන පද්ධතියට සම්බන්ධ පාරිභෝගිකයන්ට මෙම නීතිය අදාළ නොවනු ඇත.
ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මලනාළිකා පද්ධතිය සම්බන්ධ ගෘහස්ථ පාරිභෝගිකයන් 9,088 ක් සිටින අතර, වාණිජ හා කර්මාන්ත පාරිභෝගිකයින් 559 ක් සිටිති. ඒ අනුව, ගෘහස්ථ පාරිභෝගිකයන්ගෙන් රුපියල් 200 ක මාසික සේවා ගාස්තුවක් අය කරන අතර, වාණිජ හා ස්වාධීන අංශයෙන් එවැනි සේවා ගාස්තුවක් අය නොකෙරේ.
ගෘහස්ථ පාරිභෝගිකයින්ගේ ජල පරිභෝජනයේ ඝණ මීටර් 1 සිට 10 දක්වා ඝණ මීටරයකට රුපියලක ගාස්තුවක්ද, ඝණ මීටර් 1 සිට 15 දක්වා ඝණ මීටරයකට රුපියල් 1.50 ක ගාස්තුවක් ද, ඝණ මීටර් 1 සිට 20 දක්වා යන ඝණ මීටරයකට රුපියල් දෙකක ගාස්තුවක් ද, ඝණ මීටර් 1 සිට 25 දක්වා ඝණ මීටරයකට රුපියල් 2.50 ක ගාස්තුවක් ද, ඝණ මීටර් 1 සිට 30 දක්වා ඝණ මීටරයට රුපියල් හතරක ගාස්තුවක් ද, ඝණ මීටර් 1 සිට 40 දක්වා ඝණ මීටරයකට රුපියල් හයක ගාස්තුවක්, ඝණ මීටර් 1 සිට 50 දක්වා ඝණ මීටරයකට රුපියල් අටක ගාස්තුවක් ද, ඝණ මීටර් 50 ට වැඩිවීමේදී ඝණ මීටරයකට රුපියල් දහයක ගාස්තුවක්ද අය කිරීමට නියමිතය.
මීට අමතරව, වාණිජ පාරිභෝගිකයන් සඳහා ඝණ මීටරයකට රුපියල් 40 ක ගාස්තුවක්ද, කර්මාන්ත පාරිභෝගිකයන් සඳහා ඝණ මීටරයකට රුපියල් 65 ක ගාස්තුවක්ද අය කිරීමට නියමිතය.
- රාවය

Share this article with your friends