Chitika Smowtion 468x60


Tuesday, March 13, 2012

ඇමති ජෝන් බේරාගැනීම ගැන ජනපතිවරයා පොලිස්පති සමග කෝපයෙන්


කහවත්ත ද්විත්ව ඝාතනයට අදාල සැකරුවන් අත්අඩංගුවට ගැනීමට ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයා බාධාකළ බවටත්, එම සැකකරුවන්ට රැකවරන ලබාදී තිබූ බවටත් මාධ්‍යවල පළවී ඇති වාර්තා කිසිදු පදනමකින් තොර බවටත් එම ප‍්‍රවෘත්ති මුලූමනින්ම අසත්‍ය බවටත් පොලිස්පතිවරයා වෙනුවෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා නිකුත් කළ නිවේදනය ජනාධිපතිවරයාගේ දැඩි කෝපයට හේතුවී ඇති බව අරලියගහ මන්දිර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.



කහවත්ත ද්විත්ව ඝාතනය පිළිබද චෝදනා ජෝන් ඇමතිවරයා වෙත එල්ලකරමින්, ඔහුගේ දේශපාලන ප‍්‍රතිරූපය බිඳදමා තමන්ගේ එහෙයියෙකු බවට පත්කරගැනීමට ජනාධිපතිවරයා දැරූ උත්සාහය මෙම ප‍්‍රවෘත්ති නිවේදනය නිසා අසාර්ථක වී තිබේ.

කහවත්ත ද්විත්ව ඝාතන සැකකරුවන්ට රැකවරන දෙනු ලැබුවේත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදී පොලීසියට බාධා කළේත් ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයා බවත්, ඔහුගේ සම්බන්ධීකරන ලේකම්වරයා මෙම ඝාතනවලට සම්බන්ධ බවටත් පුළුල් ප‍්‍රචාරයක් ලබාදෙන ලෙස ‘දිවයින’ පුවත්පතට දැනුම්දී තිබුණේ ජනාධිපතිවරයාය. ජනාධිපතිවරයා මාධ්‍යවේදී මනෝජ් අබේධීර මහතා හරහා ‘දිවයින’ හිමිකාර නිමල් වෙල්ගම මහතාට එම දැනුම්දීම සිදුකර තිබිණ.

මීට අමතරව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාද ඔහුගෙන් නඩත්තුවන පුවත්පත් මාධ්‍යවේදින් තිදෙනෙකු කැඳවා ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයාට එරෙහිව දිගින් දිගටම පහරදෙමින් ප‍්‍රවෘත්ති පළකරන්නැයි දැනුම්දී තිබිණ.

මීට අමතරව ජනාධිපතිවරයා රත්නපුර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන පවිත‍්‍රා වන්නිආරච්චි අමාත්‍යවරියට කතාකොට ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයාට එරෙහිව දිස්ත‍්‍රික්කයේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන්නැයි ඉල්ලා තිබිණ.

ජනාධිපතිවරයා හා ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාගේ උපදෙස් මත ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයාට එරෙහිව මාධ්‍ය හරහා ප‍්‍රභල ප‍්‍රචාරයක් ක‍්‍රියාත්මක විය. එම අවස්ථාවේදී පොලිස්පතිවරයාට කතාකොට ඇති ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා කිසිදු පොලිස් නිලධාරියෙකුට බලපෑම් කර නොමැති බැවින් ඒ පිළිබදව සොයාබලා තමාට එරෙහිව ප‍්‍රකාශයට පත්වී ඇති වාර්තා නිවැරදි කරන්නැයි ඉල්ලීමක් කර තිබේ.

ඒ පිළිබදව පුලූල්ව සොයාබැලූ පොලිස්පතිවරයා කහවත්ත ද්විත්ව ඝාතනයට අදාල කිසිදු සිද්ධියකට ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයා සම්බන්ධ නැතැයි වූ ප‍්‍රවෘත්තිය නිකුත් කළේ ඉන් අනතුරුවය.


Source - lankanewsweb.com

Share this article with your friends