Chitika Smowtion 468x60


Monday, July 23, 2012

ෂීබා 'හොල්මන්'


පොලිස්පතිවරයා හා සමාන කීර්තියෙන් බබලන අයෙක් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටී යැයි මම විශ්වාස කරමි. ඒ  'ෂීබා'. ඒ නම ඇසූ පමණින් එක්වරම මේ මොකෙක් ගැනදැයි කියා බොහෝ දෙනෙක් නොදනිති. නමුත්  ශ්‍රී ලංකා  පොලිස් පරීක්ෂණ  හා රහස් පරීක්ෂක කටයුතු ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනා 'ෂීබා' ගැන දනිති. ඒ අන් කවුරුන්වත් නොව,රත්නපුර පොලිස් නිල සුනඛ අංශයේ 'කැප්ටන්' ය.



අනෙක් අයට අල්ලන්ට බැරි, රටේ ඕනෑම මගඩියක් නහයෙන් ඉව කොට අල්ලන්ට සිටින එකම සතාය. සමතා ය. 'ෂීබාට' පසුගිය දවස්වල  මුද්රිත හා විද්‍යුත් මාධ්‍යහවලින් ලබා දුන්නේ ඉහළම ප්‍රචාරයකි. ඒ 'ෂීබා' විසින් රටට හා ජාතියට ඉටු කළ සේවයට කෘතගුණ සැළකීමක් වශයෙනි. 'ෂීබා' මෙන් රහස් පරීක්ෂක කටයුතුවලදී සමත්කම් දැක්වූවන්ට  හා ආණ්ඩුවල දේශපාලන ලොක්කන්ට කඩේ ගිය පොලිසියේ ‍සමහරුන්ට තරුපටි පැළදවීය. 'ෂීබා' ට නැත්තේද තරුපටි හා කාකි, කෝට් කලිසම්ය. බැට්න් පොල්ලක්,පිස්තෝලයක් තබා උල් නියපොතු කපා ගන්නට 'කටර්'  එකක්වත් 'ෂීබා' ළග නැත.ඌට තිබෙන්නේ හොම්බ කෙලවරේ ඇති වටකුරු නාසය පමණී. ඒ නාසයෙන් 'සීබා' හොදට වැඩ ‍ගත්තේය. අපරාධකරුවෝ අල්ලා දුන්හ. 'ෂීබාට' තරුපටි පැළදුවා නම් අඩුම තරමින් ඒ සතා ඉන්ස්පැක්ටර් තනතුරේය. 


ඉතාලියානු ටෙලි නාට්‍යයක් වන 'ඉන්ස්පැක්ටර් රෙක්ස්'  ට  නොදෙවැනි චරිතයක් ශ්‍රී ලංකා  පොලිසිය තුළ රගන  'ෂීබා' අද අන්ත අසරණයෙක් බවට පත් වී  සිටී. ඒ කහවත්ත,කොටකෙතන ඝාතන රැල්ල ඉදිරියේදීය. මේ වනවිට කොටකෙතන පමණක් කාන්තාවන් 14 දෙනෙක් කපා, කොටා, මරා, පුළුස්සා දමා හමාරය. හෙට අනිද්දාට තව කුමකින් කුමක් වේදැයි කියන්නට 'ෂීබා' ට  තබා හතරවරං දෙවියන්ටවත් බැරිය. දෙවියන් ඉදිරියේ  පඩුරු හා පාක්කුඩම්, පූජා වට්ටි තබා මතු ආරක්ෂාව ඉල්ලා සිටින්නට මෙගම වැසියන්ට හැකිය. එහෙත් 'ෂීබා'ගෙන් බලාපොරොත්තු වන්නේ මැරයන් අල්ල ගැනීමයි.ඒ දෙවියන්ට මැරයන් අල්ලා ගැනීමේ වගකීම පවරන්නට බැරි නිසා ය. මෙහිදී 'ෂීබා'ට කතා කරන්නට උගන්වා තිබුණි නම් 'ෂීබා'  අපූරු ප්‍රශ්නයක්  නගන්නට බැරි නැත. '' ඇයි යකඩෝ..නොම්මර එකේ මොළකාරයෝ නේද අපරාධකාරයෝ අල්ලන්න කොටකෙතනට බැහැල ඉන්නේ..'' ෂීබා එසේ අසනු නිසැකය. කතාව ඇත්තය. හතරවටින් කැදවූ සන්නද්ධ   පොලිස් භටයින් කොටකෙතන ගමේ පදුරක් පාසා සිටිති.රහස් පරීක්ෂකවරුන් කලාමැදිරියන් සේ  විසිරී සැරිසරති. නීතියත් ,විද්‍යාවත්,තාක්ෂණයත් එකම දඩුකදේ ගසා උකුසු ඇස යොමු කරමින් අපරාධකරුවන් අල්ලා ගන්නට විශේෂඥයෝ පිරිසක් වෙනම වෙහෙසෙති. 


බලාගෙන යනකොට කොටකෙතන ගමේ සිද්ධ වූ අන්තීම ද්විත්ව ඝාතනයේ සැකකරුවන් එකා දෙන්නා අල්ලා ගන්නට අඩුම තරමින් මේ වනවිට හැත්තෑපහකට නොඅඩු පිරිසක් මෙහෙයුම්වල යෙදෙන බව නොරහසකි. මේ උදවිය නිකම්ම නිකං පුස්සෝ නොවෙති.  අංක එකේ  වැඩකාරයන්ය.මොළකාරයන් ය.  ඔවුන්ටවත් ඇසට පෙනෙන සාක්කියක් ඉතිරි කර යන්නට ඝාතකයෝ කටයුතු කර නැත. ඒ නිසා රත්නපුර පොලිසියේ කූඩුවක සිටි 'ෂීබා' ව  කැදවා ගෙන කොටකෙතනට එන්නට මෙවර ද පොලිසියට සිදුවිය. ෂීබාට කරකැවිල්ල හැදුනේ එවිටය. සකලවිධ නිපුනයන්ගෙන් සපිරි පොලිසියේ මහත්වරුන් තමන් පසුපස  පැමිණෙන විට 'ෂීබා' ට ලැජ්ජා සිතුනා නම් එය පුදුමයක් නොවේ. 


ගත වූ කාලයේදී  කොටකෙතනට පැමිණි වාර ගණන 'ෂීබා' ගණන් හදන්නට ඇත. ඒ එකම ගමනකින්වත් කිසිම වැඩක් නොවුණ තැන නගුට පස්සා පැත්තේ ගසා ගෙන රත්නපුර පොලිසියේ සුනඛ කූඩුවට නගින්නට 'ෂීබා' -ට සිදුවිය. එහෙත් කරුමයක මහත.යළිත් වරක් 'ෂීබා' ව කොටකෙතනට ජීප් රියක දමාගෙන ආවේය. එහෙත් වැඩක් වූයේ නැත. 'ෂීබා' ටවත් උගේ නහයට අල්ලා ගන්නට ඉවක් නොතබා ඝාතකයෝ වැඩේ 'තිතට' නිමා කර පළා ගොස් ඇත. ''යකඩෝ මේ වගේ අපරාධකාරයේ ඇමරිකාවේ චිකාගෝවලවත් නැතුව ඇතිනේ..''   'ෂීබා'ට එසේ සිතුනාදැයි කියන්න  නොදනිමු. එ‍ෙස් සිතුනත් එයද පුදුමයට හේතුවක් නොවේ. කොටකෙතන යනු වන්නි හත්පත්තුවේ ගමක් යැයි අප නොකියමු. 


නමුත් ශූරවීර පොලිසියටත්,  'ෂීබා'ටත්  කොකා පෙන්වන්නට හැකි අපරාධකරුවෝ කොටකෙතන ගමේ  හෝ ඒ අවට සිටී යැයි කෙසේ නම් විශ්වාස කරන්නද? මේ වගේ අපරාධ කොළඹ මුල්කර ගෙන වී නම් ටිකක් හෝ ඒ ගැන සලකා  බලන්නට හැකිය. මන්ද කොළඹ ගෙන්දගම් පොළවේ ඇට්ටර වූ පාතාල කල්ලිවල කොබෙයියෝ පොලිසියේ උකුසු ඇස්වලට වැලි ගසමින් කට්ටි පනින්ට සමතුන් බැවිනි. නමුත් කොටකෙතන ගමේ  කාන්තාවන් 14ක්  මරා දමද්දී ඒ එකම ඝාතනයකටවත් නියම හේතුව අනාවරණය නොවන තරමට ඝාතකයන් සූරයන් වී සිටී නම් පොලිසිය නැරඹිය යුතුම චිත්‍රපටයක් තිබේ. ඒ තමයි ''සූරයන්ගෙත් සූරයා''. 'ෂීබා'ටත් සැනසිල්ලේ හුස්ම ගත හැක්කේ එවිට ය. 


Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=759%3A2012-07-22-10-51-10&catid=50%3Aonline-he-sara&Itemid=71

Share this article with your friends