Chitika Smowtion 468x60


Monday, July 23, 2012

ස්ත්‍රී දුෂකට සෙත් පතා බෝධි පූජාවකට සැරසේ


ස්ත්‍රි දූෂණ චෝදනා ලැබූ අකුරැස්ස ප්‍රාදේශීය සභාපතිට සහය පළ කරමින් 500 ට ආසන්න පිරිසක් බෝඩ් ලෑලි අල්ලා ගෙන අකුරැස්ස නගරයට මේ වනවිට එක් රොක් වී සිටී. සභාපතිවරයාගෙන් ඉවත් කළ සභාපති ධූරය නැවත ලබා දෙන්නැයි කියමින් සහ සභාපතිවරයා ස්ත්‍රී දූෂකයෙක් නොවේ යැයි සදහන් කරමින් එම පිරිස රැස් වී බෝඩ් උස්සා ගෙන සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.අකුරැස්ස නගරයේ ඇති විහාරස්ථානයකට තව සුථ වේලාවකින් මෙම පිරිස ගමන් කර සභාපතිවරයාට සෙත් පතා බෝධි පූජාවක් පැවැත්වීමට නියමිතය. නගරයේ ආරක්ෂාවට විශේෂ පොලිස් කණ්ඩායම් මෙන්ම කැරැළි මර්ධන පොලිස් නිලධාරීන් ද යොදවා ඇත. උසස් පොලිස් නිලධාරීන් පවා අකුරැස්සට පැමිණ සිටිති. සාමාන්‍ය මහජනතාවගේ කටයුත්තක් ලෙස මෙම බෝධි පූජා පිංකම පෙන්විමට සංවිධායකයින් උත්සහ දැරුවත් අත්අඩංගුවේ සිටින සභාපතිවරයාගේ තේ කම්හල්වල සේවකයන් වැඩි පිරිසක් බලහත්කාරයෙන් ඊට ගෙන්වා ඇතැයි ද තතුදත් තොරතුරු අනාවරණය කළේය.



අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් යන අයට නගා ඇති බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනා අසත්‍ය බව පවසා ඔහු වහා නිදහස් කරන ලෙස බලධාරීන්ට බල කරමින් අද(23)පෙරවරුවේ අකුරැස්ස නගරයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි. මෙම උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස අකුරැස්ස නගරයේ විකල්ප මාර්ගයට යාබදව ඇති බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට බුද්ධ ප්‍රතිමාව අසලට රැස් වී බෝධි පූජාවක් ද සංවිධානය කර තිබුණි. ඒ සදහා භික්ෂූන් වහන්සේ නමක්ද වැඩම කරවා තිබිණ. අනතුරුව එම පිරිස සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එම ස්ථානයේ සිට අකුරැස්ස ප්‍රධාන බස් නැවතුම්පොළ අසලට පැමිණියහ. ඔවුන් ප්‍රකාශ කළේ කුහක දේශපාලනයේ කුමන්ත්‍රණයක් නිසා අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මෙවන් ඉරණමක් අත් වී ඇති බවයි. මේ නිසා ඔහුට සාධාරණය ඉටු කොට නිදහස ලබා දී සභාපති ධූරය නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

ගයාන් කුමාර වීරසිංහ සහ පසන් රාමවික්‍රම - මාතර


Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=776:2012-07-23-05-39-59&catid=42:2012-05-31-04-01-44

Share this article with your friends