කිවයුත්ත කෙලින්ම පවසමින් වත්මන් රජය හමුවේ අමුවෙන්ම සටහනක් තැබීමට දැන් කාලය පැමිණ ඇතැයි අපට සිතේ. එහෙයින් අපි ඒ සටහන මෙසේ ආරම්භ කරමු.
කාලයක සිට විටන් විට මේ රටේ ඇතැම් දේශපාලන අප්පොච්චිලාගේ පුංචි බේබිලා ජනතාවට කොකම්පාමින් පිස්සු කෙළින අයුරු අපි බොහෝ අවස්ථාවල රජයට පැහැදිලිව පෙන්වා දුන්නෙමු.
එහිදී යකා සහ යකාගේ පුත්තු මෙන්ම උන් වටේ සිටින යක්ෂ සේනාවන් පිළිබඳ රජයට ඇඟිල්ලෙන්ම ඇන කියා දීමටද කටයුතු කෙරුවෙමු. නමුත් දිගින් දිගටම සිදු වූයේ කුමක්ද?
අප කොතෙක් කරුණු පෙන්වා දුන්නද රජය සැමදා සිටියේ යකුන්ට විමාන තනන ප්රතිපත්තියේමය. එහෙයින් යකාත්, යකාගේ පුතුන් සේම සේනාවෝත් කිසිදු බාධාවකින් තොරව රිසි සේ ඩෙඟා නටන්නට වූහ. ඒවායින් කම්පා වූයේ සහ බැට කෑවේ රටේ ජනතාවය. නමුත් ආණ්ඩුවට එහි වගේ වගක් නොවීය.
මෙකී යකුන් සහ යක්ෂ පුත්‍රයන් ඩෙඟා නටන කල්හි රටේ නීතිය වළපල්ලට ගියේය. එහෙත් කුමකින් කුමක් සිදු වුවත් අන්ධයාට සැරයටිය සේ යකාවම බදා ගනිමින් රජය දිගටම කළේ යකුන් සමග දීග කෑම විය.
රජයේ ඉහත ප්‍රතිපත්තිය හමුවේ මේ වන විට සිදු වෙමින් තිබෙන්නේ කුමක්ද? මෙතෙක් ඩෙඟා නටමින් සිටි පෙර කී යකුන්, යක්ෂ පුත්‍රයන් සහ සේනාවෝ දැන් මහින්ද රාජපක්ෂ රජය නන්නත්තාර කර එය උඩු යටිකුරු කරමින් සිටින්නාහ. එසේ කරන අතරේ උන් ආණ්ඩුව යකුන් නැටූ සොහොන් පිටියක් බවටද පත්කරන්නාහ.
මුන් එහිදී සෘජුවම පහර දෙමින් සිටින්නේ රටේ ජනතාවගේ යහ පැවැත්මටය. එසේම ආණ්ඩුව ජනතාවට දිනා දුන් නිදහස ඇතුළු සියල්ලද වනසා දමමින් සිටින්නේය.
ඊට ඇති සමීපතම උදාහරණය ඉස්මතු වූයේ ඇමැති මර්වින් සිල්වාගේ පුත්‍රයා සහ රෙහාන් විඡේරත්නගේ ඇතුළු පිරිසක් එක්ව කොළඹ ජායික් හිල්ටන් ගොඩනැගිල්ලේදී යුද හමුදා බුද්ධි බළකායේ මේජර්වරයකුට සහ ඔහුගේ සහායකයාට ඉකුත් දිනෙක කළ පහර දීමත් සමගිනි.
එය සිදු කෙරුණේද නිකම්ම නොව. පහරදීමෙන් අනතුරුව මේජර්වරයා සතුව තිබූ රාජකාරී ගිනි අවිය ඇතුළු සියල්ල පැහැරගෙන යැමටද මාලක සිල්වා ඇතුළු නඩය පියවර ගත්හ.
මෙකී අලුත්ම මාලක ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකා යුද හමුදාවේ තීරණය වූයේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාලක සිල්වා ඇතුළු පිරිසට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීම විය. මෙකී සිද්ධිය කොම්පඤ්ඤවීදිය පොලිසියේ පැමිණිල්ලක් ලෙසින් සටහන් වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
එහෙත් එතැන් පටන් සිදුවූයේ කුමක්ද? ශ්‍රී ලංකා පොලිසියේ නිරුවත යළිත් වරක් ලෝකය ඉදිරියේ අපූරුවට ප්‍රදර්ශනය වන්නට විය. බස්නාහිර පළාත තුළ විවිධ පොලිස් නාටක රඟදක්වන එක්තරා පොලිස් ලොක්කකු සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම අහවල් කාරිය සඳහා මරදාන පාලම යටට රැගෙන යද්දී මාලක සිල්වාගේ රියෑදුරා පැමිණ පැහැරගත් ගිනි අවිය ඇතුළු දේ ඇහින්දේ යෑයි පවසමින් කොම්පඤ්ඤවීදිය පොලිසියට ගෙනවිත් දී පිටව ගියේය.
අවම තරමේ මෙහිදී මාලක සිල්වාගේ රියෑදුරාගෙන් කටඋත්තරයක් හෝ ගැනීමට පොලිසියට කොන්දක් නොවීය. එය එසේ වෙද්දී ඉහතකී පොලිස් ලොක්කා කිසිදු විලිලඡ්ජාවක් නොමැතිව මෙම සිද්ධිය සම්බන්ධකොට තවත් අපූරු කතාවක් පතුරවන්නට වූයේ මේ අතරතුරය. ඒ මේජර්වරයා චූදිතයකු බවට පත්වන අයුරිනි.
මේජර්වරයා සිද්ධිය වූ දිනයේ ජායික් හිල්ටන් ගොඩනැගිල්ල වෙත ගොස් ඇත්තේ රාජකාරීමය වශයෙන් නොව එම ගොඩනැගිල්ලේ සිටින පාතාල ප්‍රබලයකුට ආරක්ෂාව ලබා දීමට බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිදරව් වී ඇතැයි යන්න පොලිස් ලොක්කා පැවසූ එකී කතාව විය.
පොලිස් ලොක්කා අමුතු සංදර්ශනයකට සැරසෙමින් එසේ පවසද්දී යුද හමුදාව සෘජුවම පැවසුවේ මේජර්වරයා එදින ජායික් හිල්ටන් ගොඩනැගිල්ල වෙත ගොස් සිටියේ රාජකාරීමය වශයෙන් බවය.
මෙකී මේජර්වරයා කවරෙක්ද? හේ යුද හමුදා බුද්ධි බළකායේ රාජකාරි කළ මේජර් චන්දන ප්‍රදීප් නම් විය. යුද හමුදා බුද්ධි බළකාය යනු කුමක්ද? එය රහසේ ක්‍රියාත්මකව තිබෙන අංශයක් බව ඉහත ප්‍රකාශ කළ පොලිස් ලොක්කා නොදැන සිටියාට අපි දන්නෙමු.
ලොව පුරා බොහෝ රාජ්‍යන්හි මෙවන් බුද්ධි බළකා ක්‍රියාත්මකව ඇත්තේය. ඒවායෙහි රාජකාරි කරන නිලධාරින්ද සෑම මොහොතකම සිටිනුයේ සැඟවුණු චරිත ලෙසිනි. ඇමරිකාවේ "සී. අයි. ඒ." ඔත්තු සේවය ඉන්දියාවේ "රෝ" ඔත්තු සේවය වැනි අංශ ගත්තද ඒවාද ක්‍රියාත්මකව ඇත්තේ ඉහත අයුරින් රහසිගතවය.
පොලිස් ලොක්කා කුමක් කීවද මේජර් ප්‍රදීප්ද එදින ජායික් හිල්ටන් ගොඩනැගිල්ල වෙත එන්නේ එවන් සැඟවුණු චරිතයක් ලෙසිනි. ඒ හෙතෙම බුද්ධි සේවා නිලධාරියකු වන බැවිනි. එසේම ඔහු පැමිණි රාජකාරිය කුමක්ද යන්න ඉහත පොලිස් ලොක්කා තබා පොලිස් දෙපාර්තමේන්තුවම එක්වී සෙව්වද කිසි දිනෙක අනාවරණය කර ගත හැකි නොවන්නක් බවද කිව යුතුව ඇත්තේය.
මන්ද කිසි විටෙකත් කිසිවකුත් එය හෙළි නොකරණ බැවිනි. බුද්ධි රාජකාරිය යනු එවැන්නකි.
වරක් පොලිසියට රිංගාගෙන සිටි කටු කන සුනඛයකු බඳු වූ උසස් නිලධාරියකු දේශපාලන බලයෙන් පිම්බී සමස්ත යුද හමුදා බුද්ධි අංශයම පාවා දෙමින් දැවැන්ත විනාශයක් කළ අයුරු රටම දන්නේය. මිලේනියම් සිටි මහා පාවා දීම ලෙසින් මෑත ඉතිහාසයේ සටහන්ව ඇත්තේ ඒ කතාවය. දැන් මෙකී පොලිස් ලොක්කා මාලක සිල්වා සිද්ධිය කරළියේ තබමින් කරන්නට සැරසෙන්නේ එවැන්නක්ම බව අපට දැනෙමින් තිබේ.
එහෙත් එවැනි විහිළු කතා අසා යුද හමුදා බුද්ධි බළකාය යළිත් විනාශය වෙත ඇද දැමීමට වත්මන් රජයට අයිතියක් තිබේද? එවන් දේශපාලන සූදුවක යෙදෙන්නට තරම් රජය පහළට වැටී තිබේද?
බඩ රැකගන්නට කටු ලෙවකමින් දේශපාලනඥයන්ගේ රෙදි පල්ලේ රිංගා ආත්මය පාවා දෙන ශ්‍රී ලංකා පොලිසියේ ඇතැම් ලොක්කන් මෙන් නොව මේජර් ප්‍රදීප්ලා යනු අරමුණක් වෙනුවෙන් නොසැළී ඉදිරියට යන චරිතම වන්නේය. එය ඉකුත් යුද සමයේ මේජර් ප්‍රදීප්ලා මරණය දොaතට ගෙන සතුරාගේ බිමට ගොස් කළ වික්‍රමාන්විත ක්‍රියා තුළ මැනවින් සනාථ කර තිබෙන බවද කිව යුතුව ඇත.
ඒ යුද සමයේ මේජර් ප්‍රදීප්ලා වැන්නවුන් මේ රටත්, ජනතාවත්, උපන්, බිමත් වෙනුවෙන් කළ කැප කිරීම් අනන්තය. හැලූ ලේ, කඳුළු, දහදිය අප්‍රමාණය. ඉහළ සමාජයේ රැඳෙමින් රෑ ජාමෙට ගණිකාවන් පිරිවරා "නයිට් ක්ලබ්" ගානේ සැරිසරන නිශාචරයන් මෙන් නොව, මේජර් ප්‍රදීප්ලා මේ රට වෙනුවෙන් කළ සේවය එදා යුද බිමේ සැරිසැරූ මාධ්‍යවේදීන් ලෙස අපි හොඳින්ම දනිමු.
අතීත සටහන එසේ වුවද තමන්ට පහරදීම හමුවේ මේජර් ප්‍රදීප් සහ ඔහුගේ සහායකයා කොම්පඤ්ඤවීදිය පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලට අනුව රටේ පොලිසිය ක්‍රියාත්මත වන්නට වූයේ ඉහත අයුරිනි. එය කොතරම් නින්දිතද? ඇමැති මර්වින්ගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් තබා ඊට සුදානමක් හෝ පොලිසිය තුළ නොවුණි.
ඇමැති මර්වින් සිල්වා යනු අප නොව ඔහුම කියන පරිදි අසාධාරණය පෙන්වන්නට බැරි චරිතයකි. එවැන්නකදී රාජ්‍ය නිලධාරින් වුව ගස් බැඳීමට ඔහු පසුබට නොවේ. ඒ බව පසුගිය කාලයේ අපි දුටුවෙමු.
එසේම මර්වින් සිල්වා ඇමැතිවරයාට කප්පම් ගැනීම්, මත් කුඩු, ගංජා, කසිප්පු ජාවාරමුන්, බාර්කරුවන්, ගණිකා ජාවාරමුන් ආදී ලෙසින් වූ පාදඩයන්ද පිළිකුල්ය. එය කියන්නේද ඇමැතිවරයාමය. අනේ එසේ නම් ඔහු කොතරම් වටිනා හොඳ මනුෂ්‍යයෙක්ද? ඔහු හොඳ පියෙකි. හොඳ සැමියෙකි. එහෙත් මේ රටේ මිනිස්සු ඔහුට මොන තරම් අවලං කතා කියන්නේද?
එහෙත් ගැටලුව ඇත්තේ මේ හොඳ තාත්තාගේ පුතා මාලක සිල්වා දමන ඩාන්ස් දෙස බැලීමේදීය. අප අසා ඇති පරිදි වෙනත් පුතුන් යන්නේ තාත්තා යන පාරේමය. එහෙත් මාලක සිල්වා යන්නේ මර්වින් සිල්වා යන පාරේ නොව වෙනත් පාරක බව ඇමැතිවරයා කියන කතාවලින් අපට හැඟෙන්නේය. නමුත් කකුළුවා හරහට මිස කෙලින් නොයන බවටද කතාවක් ඇත්තේය.
මාලක සිල්වා ඇතුළු පිරිස ඉකුත් සතියේ මේජර්වරයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණ භාර වූයේ සියල්ල මෙසේ සිදු වෙමින් තිබෙන අතරේදීය. පසුව ඔවුන් අධිකරණය හමුවට රැගෙන යන්නට පොලිසිය ක්‍රියා කළේය.
එහෙත් මේ කතාවේ අරුම පුදුම කොටස මතුවූයේ ඉන් පසුව විය. මාලක සිල්වා සහ රෙහාන් විඡේරත්න යන ඇමැති පුතුන් තමන්ට පහර නොදුන් බවට මේජර් ප්‍රදීප් විසින් දිවුරුම් ප්‍රකාශයක් මගින් සහතික කොට තිබෙන බවට කතාවක් කරළියට පැමිණියේ එසේ මාලක සිල්වා ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමගිනි.
මේ කතාව මුලින් එළියට පැමිණියේ ඔවුන් රඳවනු ලැබූ බන්ධනාගාරය තුළිනි. ඒ ඔවුන් එහි රැගෙන ගිය දිනයේම සවස විය. එහෙත් එදින යුද හමුදාව පාර්ශ්වයෙන් ඒ පිළිබඳ අප කළ විමසීමකදී කියෑවුණේ එවැන්නක් සිදු නොවූ බවකි.
නමුත් දැන් එය සිදුව තිබේ. මේජර් ප්‍රදීප් ඒ බව මේ වන විට අධිකරණය හමුවේද සඳහන් කොට අවසන්ය. මේ සිදුව ඇත්තේ කුමක්ද? සැබැවින්ම මේජර් ප්‍රදීප් එවන් දිවුරුම් ප්‍රකාශයක් දුන්නේද? නැතහොත් පහර දීමෙන් ඇතිවූ තුවාල සඳහා යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මේජර් ප්‍රදීප් වෙත පැමිණි පිරිසක් බරපතල බලපෑමක් කරමින් සකස් කරගෙන ආ දිව්රුම් ප්‍රකාශයකට ඔහු ලවා අත්සන් ලබා ගත්තේද?
අපි එය නොදන්නෙමු. එහෙත් වටින් පිටින් ඇසෙන කතාවලින් ඒ ටික කියෑවෙන්නේය. කතාව එසේ නම් අනේ මහත්වරුනි මේ රටේ දේශපාලනය මොන තරම් නින්දිත පහත් තත්ත්වයකට ඇද වැටී තිබෙන්නේද? ඊටත් වඩා නිතර රණවිරුවන් පිළිබඳ උදාන ගී ගයන රජයක් හමුවේ මේජර් ප්‍රදීප් වැනි රණවිරුවකුට මෙවන් ඉරණමක් අත් වන්නේ කෙසේද?
මෙම පහරදීම සිදු වූ දිනට පසු දිනයේදීද මේජර් ප්‍රදීප් වෙත විවිධ පාර්ශ්ව වෙතින් ඇඟිලි දික් වූවා අපේ මතකයේ තිබේ. එහෙත් අවසානයේ සියල්ලන්ගේ ඉහමොල රත් වන්නට වූයේ එය සිදු වන අවස්ථාවේ ජායික් හිල්ටන් ගොඩනැගිල්ලේ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබූ රූප රාමු පෙළ නැරඹීමෙන් පසුව විය.
අපි බලධාරින්ගෙන් මෙසේ අසමු. ඇමැති මර්වින් සිල්වාගේ පුත්‍රයා වන මාලක සිල්වා සහ රෙහාන් විඡේරත්න ඇතුළු පිරිස මේජර්වරයාටත් ඔහුගේ සහායකයාටත් වට වී පහර දෙන අයුරු එකී රූප රාමුවල සටහන් වී නොතිබුණේද?
අපට දැන ගැනීමට ලැබුණු පරිදි ඇමැති පුතුන් දෙදෙනා ඇතුළු පිරිස මේජර්වරයාට සහ සහායකයාට පහර දෙන අයුරු එහි පැහැදිලිව සටහන් වී තිබී ඇත්තේය. එසේ නම් පැහැදිලි සාක්ෂි තිබියදී මේජර්වරයා දිව්රුම් ප්‍රකාශයක් දුන් පලියට චූදිතයන්ට නීතියෙන් ගැලවී යා හැකි වේද?
කෙසේ වෙතත් මීට පෙර අවස්ථාවක ඇමැති මර්වින් සිල්වා මහතා සමෘද්ධි නිලධාරියකු ගස් බැඳි අවස්ථාවේ අවසානයට එකී සමෘද්ධි නිලධාරියා කීවේ ඇමැතිවරයා එය සිදු නොකළ අතර තමන්ම ගසට හේත්තු වී කඹය ගෙන බැඳ ගත් බවකි.
ඒ අනුව එදා ඇමැතිවරයා එම චෝදනාවෙන් නිදහස් වී ගියේය. දැන් මේජර් ප්‍රදීප්ගේ දිවුරුම් ප්‍රකාශයේද සඳහන්ව ඇත්තේ එදා සමෘද්ධි නිලධාරියා කී අන්දමේ කතාවක්ම වන්නේය. එහෙත් ආණ්ඩුවේ මේ නරි නාටක දෙස රටේ ජනතාව තව කොතෙක් කලක් බලා සිටින්නද?
ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මේ අයුරින් මීට පෙරද වරක් පොලිසියට පහර දුන්නේය. ඒ ඔහු සන්තකයේ මත්ද්‍රව්‍ය තිබෙන බවට ලැබුණ තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පිරිසක් වැටලීමක් සඳහා කොළඹ රාත්‍රි සමාජ ශාලාවකට පැමිණි අවස්ථාවක දීය.
එහෙත් එකී සිද්ධියේදීත් ඔහු කෙසේ හෝ ගැලවී ගියේය. තවත් වරෙක ඔහු රටේ විද්වතකුට මේ අයුරින්ම පහර දුන්නේය. එහිදීද බලධාරින් කටයුතු කෙරුවේ පෙර පරිදිමය.
මේ අයුරින් ආණ්ඩුව ඔහු පිළිබඳ නොසැලකිල්ලෙන් කටයුතු කිරීමේදී මතු දිනෙක ඔහු කිසියම් උත්සවයක් සඳහා තරු හෝටලයකට පැමිණෙන මේ රටේ පොලිස්පතිවරයාට හෝ ත්‍රිවිධ හමුදාපතිවරුන්ටද පහරදීමට බැරි නැත. එදාට අපි කුමක් කරමුද?
- සමන් ගමගේ