Chitika Smowtion 468x60


Saturday, March 10, 2012

බටහිර 'අධිරාජ්‍යවාදීන්' ඉදිරියේ අප මොන 'වාදීන්' ද? - ගාමිණී වියන්ගොඩ


ලංකාවේ ජාතික විරසකය හේතුවෙන් ඇති වූ යුද්ධය හමුදාමය වශයෙන් අවසන් කිරීමෙන් පසු, නැවත මුළු රටම ජාතියක් වශයෙන් එක්සේසත් කිරීම සඳහා වන ඓතිහාසික කාර්ය භාරයක් රට පාලනය කරන සෑම නායකයෙකුටත්, සෑම පුරවැසියෙකුටත් පැවරෙන බවට පිළිගැනීමක් ඇත.
ඒ සඳහා අපට ගත හැකිව තිබූ පූර්වාදර්ශය වුණේ දකුණු අප්‍රිකාවයි. දීර්ඝ කාලයක් තිස්සේ සුද්දන්ගේ වර්ණ භේද වාදයෙන් පීඩාවට පත්ව සිටි දකුණු අප්‍රිකානු කළු ජාතිකයෝ අවසානයේ බලයට පත්වුහ. එම අරගලය මුදුනේ සිටියේ, මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ වරදට විසිහත් වසරක් හිරබත් කෑ නායකයෙකු වූ නෙල්සන් මැන්ඩේලා ය. තමාගේ ජාතියට සිදු වූ අසාධාරණයට අමතරව, ඒ සා දීර්ඝ කාලයක් තමාව හිරකොට තබාගෙන සිටි සුද්දා සමග අවශ්‍ය නම් පෞද්ගලික කෝන්තරයක් ඇති කර ගැනීමේ හැකියාව ද ඔහුට තිබුණි. 


එසේ තිබියදීත්, තමන් අතට බලය ලැබුණු සැණින් ඔහු කෙළේ, සුද්දන් සහ කල්ලන් අතර සැබෑ ජාතික සංහිඳියාවක් ඇති කිරීම සඳහා පෙරමුණ ගැනීමයි. මෙය දීර්ඝ ක්‍රියාවලියක් විය. දීර්ඝ ක්‍රියාවලියක් යනු, කල් තැබීම්, නොතකා හැරීම්, නොමග යැවීම්, රැවටීම් සහ වංචාවල් මාර්ගයෙන් ක්‍රියාවලිය දිග් ගැස්සීමක් නිසා සිදුවූවක් නොව. අදාළ සිද්ධියේ හැම අස්සක් මුල්ලක් නෑරම සොයා බැලීම සඳහා ගතවූ මුළු කාලය යි. මීට මාස කිහිපයකට පෙර මෙම ක්‍රියාවලියේ එක් සිදුවීමක් සම්බන්ධයෙන් වැරදිකරු වූ සුදු ජාතිකයෙකුට සමාව ප්‍රදානය කෙළේ එම සුදු ජාතිකයාගේ අධීක්ෂණය යටතේ ඝාතනයට ලක් කෙරුණු කළු තරුණයෙකුගේ මව විසිනි. හැබැයි, එම සමාව ලැබුණේ, චෝදනාව නියමිත පරිදි විමර්ෂණය කොට, චූදිතයා වැරදිකරු බවට නිසි අධිකරණයකින් තීන්දු කිරීමෙන් පසුව යි.
දකුණු අප්‍රිකාවේ ජාතික සංහිඳියා කි්‍රයාදාමය තුළ බොරුවට කිසි ඉඩක් නොවුණි. එසේම, මේ ක්‍රියාදාමය එරටේ දියත් කළ නායකයා සද්භාවයෙන්ම සංහිඳියාවක් අපේක්ෂා කෙළේය. ඔහු ඒ අපේක්ෂාව දරාගෙන සිටියේ, රටේ බහුතරයක් කළු ජනතාව, සුද්දාගේ ලෙයින්ම ඓතිහාසක වන්දියක් ඉල්ලා සිටි තීරණාත්මක මොහොතක යි. එනම්, එම බහුතර මතයට එරෙහිව යාම තුළ රටේ නායකයාගේ ඡන්ද බලය සහ ජනප්‍රියත්වය හීන වී යාමේ අවදානමක් තිබූ වාතාවරණයක යි.
දකුණු අප්‍රිකාවේ ඒ ක්‍රියාදාමය සමග ලංකාවේ අත්දැකීම අප සැසඳුවොත් අපට පෙනී යන්නේ කුමක් ද? එක පැත්තකින්, බොරුව සහ වංචාව අපේ ජාතික සංහිඳියාවේ අරටුව දක්වා විහිදී ඇති බවත්, තවත් පැත්තකින් මහ ජාතියේ ජනප්‍රියත්වය සහ ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීම සඳහා එම බොරුවට ආවැඩීමේ නායකත්වයක් අපට ලැබී ඇති බවත් ය.
මේ ආණ්ඩුවත්, ඊට පෙර පැවති අනිත් ආණ්ඩුත් විවිධ කොමිෂන් සභා මාර්ගයෙන් අදාළ සත්‍යයන් වසං කිරීමට ගත් ප්‍රයත්නයන් සියල්ල අමතක කොට, අපි 'උගත් පාඩම් හා සංහිඳියා කොමිසමෙන්' පටන්ගමු. මේ කොමිසම ජනාධිපතිවරයා විසින් පත්කරන ලද්දේ, යුද්ධයේ අවසාන කාලයේ ඇති වූ බවට ආණ්ඩුව පවා අද පිළිගන්නා මහා ජීවිත විනාශයක් පිළිබඳව ජාත්‍යන්තරයෙන් එල්ල වෙමින් පැවති චෝදනාවන්ට සැපයෙන 'දේශීය' පිළිතුරක් වශයෙනි. මේ කොමිසම සිය විමර්ශනය අතරවාරයේ 'අන්තර්වාර යෝජනා' කිහිපයක් ආණ්ඩුවට ඉදිරිපත් කෙළේය. අන්තර්වාර යෝජනා යනු, කොමිසමේ අවසාන වාර්තාව පිටවීමට කලින් ක්‍රියාත්මක කළ යුතු 'හදිසි වැදගත්කමකින් යුත්' විසඳුම් වශයෙන් කොමිසම විශ්වාස කළ දේවල් ය. ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා කොමිසමේ විමර්ශණය අවසන් වන තෙක් සිටිය යුතු නැති බවටත්, කොමිසම අවසන් වීමට කලින් ඒවා ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහ වගකීම රජයට ඇති බවටත් කොමිසම විශ්වාස කෙළේය. එසේ තිබිය දීත්, ඒ හදිසි යෝජනා කිසිවක් ආණ්ඩුව ක්‍රියාත්මක කොට නැති බවට චෝදනා කිරීමට තමන්ගේ අවසාන වාර්තාව සැපයීමේ දී එම කොමසාරිස්වරුන්ට සිදුවිය. තමන්ම පත්කළ කොමිසම 'හදිසි' පිළියම් වශයෙන් යෝජනා කළ දේවල් පවා මගහරින ආණ්ඩුවක්, කොමිසම නිර්දේශ කරන වඩාත් පුළුල් දීර්ඝ කාලීන දේශපාලනික ප්‍රතිසංස්කරණ ක්‍රියාවේ යෙදවීමට කිසි දවසක පියවර නොගන්නා බව නොවේ ද එයින් අදහස් වන්නේ?
ඊළඟට, මේ සංහිඳියා කොමිසමේ වාර්තාව තමන්ගේ සද්භාවයේ ප්‍රකාශනයක් වශයෙන් ආණ්ඩුව විසින් ලෝකයාට ඉදිරිපත් කරනු ලැබීමේ දී, එම ආණ්ඩුවේම කැබිනට් ඇමතිවරුන් (විමල් වීරවංශ සහ චම්පික රණවක) එම වාර්තාවට එරෙහිව ජනතාව උසිගන්වනු ලැබීමට දේශීය වශයෙන් අනුබල දෙන ආණ්ඩුවක් එම කොමිෂන් සභාවේ නිර්දේශ යම් දවසක ක්‍රියාත්මක කරති යි විශ්වාස කිරීමට විශේෂ හේතුවක් ජාත්‍යන්තරයට තිබේ ද?
තව ද, මෙම කොමිෂන් වාර්තාව තුළ බරපතල චෝදනාවන්ට ලක්වූ සහ දැන් එම කොමිසමට විරුද්ධව උසාවි යන්නෙමැ යි පාරම්බාන ඩග්ලස් දේවානන්ද වැන්නන්ව, ජිනීවා නුවර ජාත්‍යන්තරය ඉදිරියට ගෙනගොස් තමන් (ආණ්ඩුව) වෙනුවෙන් නිදහසට කරුණු දැක්වීමට යොදා ගැනීමෙන් මෙම ආණ්ඩුව පෙන්නුම් කෙළේ, තමන් පත්කළ සංහිඳියා කොමිසමේ නිර්දේශවලට වඩා, එම නිර්දේශ තුළ චෝදනාවට ලක්වු ඩග්ලස් දේවානන්ද වැන්නන් කෙරෙහි තමන් විශ්වාසය තබන බව නොවේ ද? එසේ තිබිය දී, මේ කියන කොමිෂන් වාර්තාව ජාත්‍යන්තරය ඉල්ලා සිටි වගවීමේ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් භාරගන්නැ යි ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටීමට ආණ්ඩුවට පුලූවන්කමක් තිබේ ද?
ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී යෝජනාවක් සම්මත කර ගැනීමට නියමිත 'අධිරාජ්‍යවාදී' ඇමරිකාවට එරෙහිව කෑගසන දේශීය 'සමාජවාදීන්' විසින් මේ පසුබිම් කාරණා අමතක කිරීම යනු, අධිරාජ්‍යවාදය සහ සමාජවාදය අතර ඇතැ යි කියන වෙනස පිළිබඳ අළුත් නිර්වචන සෙවීමට අපව පොළඹවයි.
'අධිරාජ්‍යවාදී ඇමරිකාව' ඇත්ත වශයෙන්ම අපෙන් ඉල්ලා සිටින්නේ කුමක් ද? ජනාධිපතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා හෝ වෙනත් නායකයෙකු විදුලි පුටුවේ වාඩි විය යුතු බව ද? 'අධිරාජ්‍යවාදී' ඉතිහාසය තුළ, විදුලි පුටුවට ගිය ඒකාධිපතියෙකු ඇතොත් ඒ කවුදැ යි අපි දැන ගැනීමට කැමැත්තෙමු. විදුලි පුටුවල වාඩි වීමට සෑම සුදුසුකමක්ම ලද්දෝ, ඇමරිකානු ආශීර්වාදය යටතේ විවිධ රටවල රාජ්‍ය නායකයන් වී බලය හෙබවූ බව නම් අපි දනිමු.
ඊළඟට, බටහිර දෙබිඩි පිළිවෙතක් ගැන අද සමහරු කතා කරති. ඇත්ත, බටහිර මහ ජාතීන්ගේ විදේශ ප්‍රතිපත්ති තුළ එම දෙබිඩි බව දැකිය හැකිය. එහෙත් එම චෝදනාව එල්ල විය යුත්තේ ඇමරිකාවට පමණක් ද? නැත, පෙරදිග යෝධයන් යැයි සැලකෙන, එසේම 'සමාජවාදී' හෝ ප්‍රගතිශීලී යැයි කියන සහ මේ මොහොතේ ලංකාවේ උදව්වට සිටින චීනය සහ රුසියාව වැනි රාජ්‍යයන් ද, වෙනත් රටවල් සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙත් අනුගමනය කොට ඇති බවත්, සිරියාව වැනි මිනීමරු රටවල්වල පාලකයන්ව මේ මොහොතේ පවා ඔවුන් විසින් නඩත්තු කරන බවත් අපි දනිමු. කෙසේ වෙතත්, බටහිර අධිරාජ්‍යවාදීන් සහ නැගෙනහිර අධිරාජ්‍යවාදීන්ගේ කැරැට්ටුව එසේ තිබිය දී, හෙට දවසේ අපට බලපාන්නේ, ඔවුන්ගේ ඒ කියන දෙබිඩි පිළිවෙත් නොව, අපේම දෙබිඩි පිළිවෙත් ය. මන්ද යත්, අද අප මුහුණදෙන ජාතික ප්‍රශ්නය ඉදිරියේ තීරණාත්මක වන්නේ අපේ ආකල්ප සහ වටිනාකම් පමණක්ම වන බැවිනි.
හොඳයි, අප සම්බන්ධයෙන් බටහිර (ඇමරිකාව) අනුගමනය කිරීමට සැරසෙති යි කියන මේ දෙබිඩි පිළිවෙත කුමක් ද? ලංකාවේ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද 'උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ' යෝජනා නොපමාව ක්‍රියාත්මක කරන්නැ යි කරන ඉල්ලීම ඉන් පළමුවැන්න යි. (මේවා ක්‍රියාත්මක නොකිරීමට අනුන්ගේ දෙබිඩි කමක් හේතු විය යුතු ද?) ඊළඟට, එම කොමිසම විසින් ප්‍රමාණවත් අන්දමින් ආමන්ත්‍රණය කොට නැතැ යි පෙනෙන ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් වගවීම පිළිබඳ වැඩි දුර සොයා බලන ලෙස කරන ඉල්ලීම දෙවැන්න යි. ඇත්ත වශයෙන්ම, ඇමරිකාව විසින් ජිනීවා නුවර දී ඉල්ලා සිටීමට නියමිත මේ 'වැඩිදුර විභාගය', මීට මාස කිහිපයකට පෙර ජනාධිපතිවරයාගේ 'උගත් පාඩම් හා සංහිඳියා' කොමිසම විසින්මත් ඉල්ලා තිබීම එතකොට අප සළකන්නේ මොන පිළිවෙතක් වශයෙන් ද?


Source - lankanewsweb.com

Share this article with your friends