ලොව අනෙකුත් ආගම් තමන්ගේ ආගමට වඩා පහත් බවට අටවා ගත් මනස්ගාතයක ගල් පහරවල් විසින් ඇයගේ සිරුර තලන්නේ, ලංකාවේ අප ජාතික, ආගමික ස්වර්ණමය යුගයක් පසු කරන අවස්ථාවකය. ලෝකයේ නිර්මලම ආගම අපට උරුම බවට ලංකාවේ සමස්ත සමාජයම මොර ගාද්දී තමන්ගේ ආගම වඩාත් උසස් යැයි සැලකූ තවත් එවන් සමාජයක් විසින් තරුණියකගේ ජීවිතය නගර චතුරශ්රයක කුණු වෙන්නට ඉඩ හරියි. ඉතින් අද ඉරාකයේ නගර චතුරශ්රයක අප දකින්නේ අනාගත ලාංකිකයාගේ ඉරණමද?
ආගමික උත්කර්ශයේ අවසාන ප්‍රතිපලය වනුයේ ආගමේ හැඩය වෙනස් වීමයි. රාජ්‍ය යාන්ත්‍රණය විසින් රටේ ප්‍රශ්න වලට ආගමික පිලිසරණ පතන විට ආගම හයිඩ්රජන් පිරවූ බැලුමක් බවට පත්වෙමින් ආකාශගත වෙයි. අද හන්දියක් හන්දියක් ගානේ ඉදිවන බුදු පිළිම, සවස 6 න් පසු රට පුරා රැව් දෙන පිරිත් නාද, ජනමාධ්‍යය ආගමිකකරණය වීම වැනි තත්ත්වයන් තුළ අප අත්දකින්නේ පැවති අවකාශයට පිටු පා ආකාශගත වූ බෞද්ධාගමයි. ආගම ආකාශගත වූ පසු එහි බලපෑම මර්ධනයක් බවට පත්වෙයි. ආගම පදනම් කොටගත් මිලේච්ඡත්වය හිස ඔසවන්නේ මෙවන් සන්දර්භයකය. සමහර විට අනාගතයේදී පන්සල් නොයන බෞද්ධයින්ට ප්‍රසිද්ධියේ ගල් ගැසීම වැනි සංසිද්ධි ඇති වුව හොත් පුදුමයට පත්විය යුතු නැත. පසුගිය දිනෙක උසාවි භූමියකදී නීතිඥවරයෙක් බෞද්ධ භික්ෂුවකගේ පහර කෑමට ලක් වීමෙන් සංනිවේදනය වන්නේ මේ මිලේච්ඡත්වයයි. එල්.ටී.ටී.ඊ අවසානයත් සමග සතුරා අහිමි වූ සාමාජයට ආගමික සතුරෙක් සකසා ගැනීමට අවශ්‍ය පසුබිම ආගමික මිලේඡත්වය විසින් සකසනු ඇත. ආගම පදනම් කරගෙන ඇති වූ මිලේඡ්ච සිදුවීම් බොහෝ ගණනකට ලෝක ඉතිහාසය හිමිකම් කියයි. ඉතින් බෞද්ධාගම පදනම් කරගත් මිලේඡත්වයේ පදනම අද ලංකාවේ සමාජය තුළ සකසමින් සිටියි. එය බෞද්ධාගමේ නව දිශානතියක් වනු ඇත.
පසුවදන පසුගිය දා අවසන් වූ ජිනීවා යෝජනා හරහා ජාත්‍යන්තරය ලංකාවෙන් ඉල්ලා සිටියේ ශිෂ්ටත්වය පිළිබඳ වූ ඉල්ලීමකි. එනම් යුද්ධයත් සමග අමතක වූ ශිෂ්ටත්වය ප්‍රතිස්ථාපනය කිරීමට ආරාධනාවකි. එයට ඉතා අශිෂ්ට ලෙස ප්‍රතිචාර දක්වමින් ලාංකිකයන් හැසිරුණ ආකාරය දකින විට සිතෙන්නෙ කිසිවිටෙකත් ශිෂ්ට සම්පන්න පරිණාමයකට ලංකාව සූදානම් නැති බවය. මෙවන් අවස්ථාවක ශිෂ්ට සම්පන්න දාර්ශනිකයෙක්ගේ ධර්මය ඇතුළත් ආගමික ආයතනය කළ යුත්තේ සමාජයට අහිමි වූ ශිෂ්ටත්වය නැවත සොයා දීමයි. ඒ වෙනුවට ආගමික ආයතනය විසින් තවදුරටත් අශිෂ්ටත්වයට අවශ්‍ය පිඹුරුපත් සකසන්නේ නම් එවන් වූ ආගමක් හිමි ජනතාවගේ අනාගතයද, අද ගල් පහර කෑ මරණයට පත් වූ කුර්දි තරුණියගේ ඉරණමට සමාන වනු ඇත.