Chitika Smowtion 468x60


Sunday, May 20, 2012

ජෙනරාල්ගේ ‘නිදහසට’ නීතිමය ගැටලූවක් හරස් වෙලා ?


ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (19) දින නිදහස් කරන බවට ජනාධිපතිවරයා පසුගිය 16 වැනිදා රාත‍්‍රියේ ටිරාන් අලස් මන්ත‍්‍රීවරයාගේ නිවසේදී අනෝමා ෆොන්සේකා මහත්මියට පොරොන්දු වී තිබුණද, ඒ සඳහා මේ වන විට නීතිමය බාධාවක් මතු වී ඇතැයි ජනාධිපතිවරයා පෙරේදා දහවල් දැනුම් දී තිබේ.


ජෙනරාල්වරයාට එරෙහිව යුද අධිකරණය විසින් ලබා දුන් තීන්දු දෙකකට හා සිවිල් අධිකරණය විසින් ලබා දුන් සුදු කොඩි නඩුවට එරෙහිව ඔහු විසින් ගොනු කර ඇති අභියාචනා ‘ජනාධිපති නිදහසට’ බාධාවක් වී ඇතැයි ජනාධිපතිවරයා පවසයි.
එහෙයින් එම අභියාචනා ලබන සඳුදා ම ඉල්ලා අස් කර ගන්නා ලෙසත්, එසේ ඉල්ලා අස් කර ගත් වහාම ජෙනරාල්වරයා නිදහස් කරන බවට ජනාධිපතිවරයා යළිත් වරක් පොරොන්දු වී තිබේ.
මෙම තත්ත්වය යටතේ ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව විමසා බැලීම සඳහා ජෙනරාල්වරයා ජනාධිපති නීතිඥ රෝමේෂ් සිල්වා මහතා ඇතුළු නීති උපදේශකයින් කිහිප දෙනෙක් අද නවලෝක රෝහලට කැඳවා තිබිණ. මෙහිදී ජෙනරාල්වරයා දැඩි ලෙස අවධාරණය කොට ඇත්තේ යුද සෙබළුන් නීත්‍යානුකූල නොවන ලෙසට රඳවා ගත් බවට නීතිපතිවරයා විසින් තමාට එරෙහිව පවරා ඇති නඩුව ඉල්ලා අස් කර ගනිමින්, ජනාධිපතිවරයාගේ අවංකභාවය ප‍්‍රදර්ශනය කරන්නේනම් පමණක් තමා විසින් ගොනු කළ අභියාචනා ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවයි.
කොන්දේසි සහිත නිදහසක් තමාට අනවශ්‍ය බවත්, දේශපාලන හේතූන් මත සිරගතකොට සිටින තමාට ජනතාව වෙනුවෙන් තවත් වසර කිහිපයක් සිරගත ව සිටීමට හැකියාව ඇති බවත් ඔහු අවධාරණය කර ඇත. මේ සම්බන්ධයෙන් අප වෙත කරුණු දැක්වූ ජෙනරාල්වරයාගේ නීතිඋපදේශකයෙකු පවසා සිටියේ ෆොන්සේකා මහතාගේ අභිමතයකින් තොරව ඔහු විසින් ගොනුකර ඇති අභියාචනා පැමිණිලි ඉල්ලා අස් කර ගැනීමේ හැකියාවක් නොමැති බවයි.
ජනාධිපතිවරයාගේ කුමන්ත‍්‍රණවලට හසු නොවන ලෙසත්, ජනාධිපතිවරයා හමුවේ බාල්දු නොවී පෙර පරිදිම සටන් කරන ලෙස හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට අද පෙරවරුවේ ෆොන්සේකා මහතා වෙත දැනුම් දුන් බව එම නීතිඥයා සඳහන් කළේය. ෆොන්සේකා මහතා විසින් ගොනු කළ අභියචනා පෙත්සම් ඉල්ලා අස් කර නොගන්නා ලෙස සරත් නන්ද සිල්වා මහතා ද උපදෙස් දී ඇතැයි එම නීතිඥයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කරුණු දැක්වූ කොළඹ තානාපතිකාර නිලධාරියෙකු කියා සිටියේ ෆොන්සේකා මහතා ලබන සතිය තුළදී නිදහස් කරන බවට විදේශ කටයුතු අමාත්‍යාංශය තානාපති අංශවලට දැනුම් දී ඇති බවත්, එහෙත් ඔහුට ඉදිරියේදී දේශපාලනය කිරීමේ නිදහස හිමි නොවීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්ය.
කෙසේවුවද ෆොන්සේකා මහතා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද ජනාධිපතිවරයාට බලකර සිටී. ජනාධිපතිවරයා බොරු තර්ක ඉදිරිපත් කරමින් ෆොන්සේකා මහතාව දේශපාලනික වශයෙන් හෑල්ලූ කිරීමට කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්‍ෂයේ ස්ථාවරය වී තිබේ.
අභියාචනයක් විභාග වෙමින් තිබියදී ජනාධිපති සමාවක් දිය නොහැකි බව ජනාධිපතිවරයා පැවසුවද එවැනි තත්ත්වයකට මුහුණ දී සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිස්සනායගම් මහතාට ජනාධිපති සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට සිදු විය. වසර 20ක සිරදඬුවමකට නියම වූ තිස්සනායගම් මහතා ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර එය විභාග වෙමින් සිටියදී ඇමෙරිකානු රජයෙන් එල්ල වූ බලපෑම් හමුවේ, හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාගේ මැදිහත් වීම මත තිස්සනායගම් මහතාට ජනාධිපති සමාවක් ලබා දීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කළේය.

Source - lankanewsweb.com

Share this article with your friends