ආයතනයක නිලධාරීහු පිරිසක් විනෝද චාරිකාවකට සහභාගි වූහ. පිරිමින් සඳහා පිටරට නිෂ්පාදිත සැරබීමද කාන්තාවන් සඳහා වයින්ද රැගෙන යන ලදී. චාරිකාව නිමා වී නිලධාරීන් කිහිපදෙනෙක් ආයතනයට පැමිණ ඉතිරිව තිබූ මත්පැන් ගබඩාවට දමා හිස් බෝතල් අයිනක තැබූහ. එක් නිලධාරියෙක් කොළයක ඔතන ලද බෝතලයක් ආරක්‍ෂක නිලධාරියකුට භාර දී ‘‘මේ වයින් බෝතලේ අරන් තියන්න. මම ගමේ ගිහින් ඇවිත් ගන්නම්’’ යැයි පැවසීය.
පසුදින නිවාඩු දිනයකි. එදින පැමිණි ස්ථාන භාර නිලධාරියා වයින් බෝතලය දැක එය කාගේදැයි ඇසීය. ‘‘සර් ටි‍්‍රප් එක ගිය මහත්තයෙක් තියලා ගියා.’’ කනිෂ්ඨ ආරක්‍ෂක නිලධාරියා කීය. මත්පැන් රුසියෙක් වූ ස්ථාන භාර නිලධාරියා සට කපට පුද්ගලයකු විය. ‘‘කෝ මෙහාට ගනින් බන් ඔය බෝතලේ’’ කියමින් බෝතලය අතට ගෙන එහි ඇසුරුම පරෙස්සමින් ඉවත් කළ විට දක්නට ලැබුණේ ඉස්තරම්ම වයින් බෝතලයකි.
හිස් බෝතල් ඇසිරූ පෙට්ටියෙන් එම වර්ගයේම හිස් බෝතලයක් ඉවතට ගත් ඔහු, වයින් බෝතලය ඔතන ලද කොලයෙන් හිස් බෝතලය ඔතා, ‘‘දැන් අපි වයින් බෝතලේ බොනවා. වෙරි වෙන්නෙත් නැහැනේ. පස්සේ ඔතපු බෝතලේ මේසේ උඩ තියල, බිමට වට්ටනවා. බොසා ආපු දවසට මම උත්තර දෙන්නම්’’ යැයි සිනාසෙමින් කීය.
පසුගිය දිනක වයින් බෝතලය රැගෙන යෑමට පැමිණි නිලධාරියා දුටු ස්ථානභාර නිලධාරියා ‘‘හරි වැඩේනේ උනේ සර්. මේසේ උඩ තිබ්බ වයින් බෝතලේ පූසෙක් පැනලා බිම වැටුණා. කුඬේ කුඩු, දුකේ බැහැ සර්’’ ඔහු බිඳුණු බෝතලය පෙන්වමින් පැවසීය ‘‘අපරාදේ මට ඕක ඔයාලට බොන්න කියන්නයි තිබුණේ’’ නිලධාරියා බිඳුණු හඬකින් පිළිතුරු දුන්නේය. මෙය කොළඹ අවටින් වාර්තා විය.