ඒ පුද්ගලයන්ට එසේ චෝදනා කිරීමට සාධාරණ හේතු කාරණාද නොතිබුණා නොවේ. ඒ අතර සැකයට භාජනය වුණු ප්‍රබලතම කාරණාව වූයේ මාර්තු 16 වෙනිදා කෞතුකාගාරය සොරු බිඳින විට එහි වූ ආරක්ෂිත කැමරා පද්ධතිය හිටි හැටියේම අක්‍රියව තිබිමය. ඒද සොරකමට පෙරදිනයේ සිටය.
ආරක්ෂිත කැමරා පද්ධතිය අක්‍රිය වීමට විවිධාකාර හේතු කාරණා බලධාරීන් පැවැසුවද ඒවා පිළිගන්නට ජනතාව එතරම් උනන්දුවක් නොදැක්වූයේ අධි ආරක්ෂිත ප්‍රදේශයක පිහිටි කෞතුකාගාරය සොරු බිඳීමත් සොරාගත් කෞතුක වස්තු අතර ඉපැරණි කඩු කිහිපයක් තිබිමත් විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ සමාජ ක්‍රියාකාරිකයන් විසින් සැකයට භාජනය කර සමාජ ගත කරන්නට වූ බැවිනි.
මෙම සොරකම සිදුවුණු දින රාත්‍රියේ පොලිසියේ වාහනයක් කෞතුකාගාර පරිශ්‍රයේ සැරිසරණු දුටු බව මේ අතර කෞතුකාගාරය ආසන්නයේ පිහිටි ජාතික කලා භවනේ එදින රාත්‍රියේ සේවයේ නිරතව සිටි ප්‍රධාන ආරක්ෂක නිලධාරියා පවසන්නට විය. ස්ටැන්ලි ලියනගේ නම් වූ ඔහු එසේ පවසන්නට වූයේ ජාතික කෞතුකාගාර සොරකම සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන්ද තොරතුරු විමසා කෙරුණු ප්‍රශ්න කිරීම් හමුවේදීය.
අවසානයේ සිදුවන්නේ කොළඹ කොටුවේදී සන්නද්ධ කල්ලියක පැහැර ගැනීමකට ඔහු ලක්වීමය. ඒ ඉකුත් ජුනි 12 වෙනිදාය. ඒ වන විට පොලිසිය සිටියේ ජාතික කෞතුකාගාර සොරකම ගැන කිසිදු තොරතුරක් සොයාගන්නට නොමැතිවය. ඒ නිසාම ඔහුවද පොලිසියේ සැකයට භාජනය වී තිබුණේය. මහනුවර දඹුලුගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ස්ටැන්ලි පැහැර ගැනීමට ලක්වූයේ නිවාඩුවට දබුලුගල ගොස් නැවත කොළඹ පැමිණ ජාතික කලා භවන වෙත ගමන් කිරීමට සූදානමින් කොටුවේ රැඳී සිටියදීය.
එසේ පැහැර ගැනුණු ස්ටැන්ලි ලියනගේ නිදහස ලබන්නේ දින 20කට පසුවය. ඒ ගඩලාදෙණිය මංසන්දියේ දීය. ඒ වන විට කෙළින් කටින් ඉන්නට බැරි වන්නට ඔහු කෲර වදහිංසාවට ලක්ව සිටියේය. රෝහල් ගත වීමෙන් අනතුරුව ඔහු පවසන්නට වූයේ කෞතුකාගාර සොරකම තමා විසින් කළ බව පිළිගන්නා ලෙසට බලකරමින් තමාව පැහැරගත් පිරිස පහර දෙමින් වද හිංසා කළ බවයි. එය පිළිගත හොත් හත්මුතු පරම්පරාවම ගොඩ බවද ඔවුන් පැවැසූ බව ස්ටැන්ලි ලියනගේ සඳහන් කළේය.
තමා නොකළ වරදක් පිළිගන්නට බැරිකම නිසාම ඔහු ඒ සියලු හිංසා විඳ දරාගෙන සිටියේය. නිදහස ලැබෙන්නේද ඒ නිසාමය.
ස්ටැන්ලි ලියනගේ පැහැර ගත් සන්නද්ධ කණ්ඩායම කවුරුන් ද යන්න මතෛක් හෙළිදරව් නොවුණද ඒ කවුරුන්ද යන්න දන්නෝ නම් දනිති. ඒ ගැන නිසි පොලිස් පරීක්ෂණයක් අදටත් නැත්තේ ඒ නිසාය. කෞතුකාගාර සොරකම ගැන සමාජ ගත වූ සැකයන් වඩාත් තීව්‍ර වීමට මෙවැනි ක්‍රියාද බල නොපෑවා යැයි කිව නොහැකිය.
මේ අතර කෞතුකාගාර සොරා යැයි කියා පොලිසිය රත්‍රන් පටි කිහිපයක් සමග කඩවතින්ද පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබුණේය. හෙට්ටිවීදියේ පැරණි ගොඩනැගිල්ලක් අලුත්වැඩියාවක නිරතව සිටියදී එම රන් පටි එම පුද්ගලයාට ලැබි තිබුණු බව පැහැදිලිවම විමර්ශනවලින් අනාවරණය වී තිබුණද පොලිසිය කළේ එම රන් පටි කෞතුකාගාරයෙන් සොරාගත් භාණ්ඩ උණුකර සකස් කළ ඒවා බවට සැක කරන බවට අධිකරණයට කරුණු වාර්තා කොට එම පුද්ගලයා රිමාන්ඩ් භාරයේ තැබිමට කටයුතු කිරීමය. ඒ ඇතැම් විට කෞතුකාගාර සොරා ඇල්ලුවා යැයි සමාජගත කිරීමටද විය හැකිය.
එහෙත් මේ සියලු දෑ පුස්සක් බවට පත්වන්නේ පිළියන්දල පොලිසියට ත්‍රිරෝද රථ රියැදුරෙකුගේ ඔත්තුවකින් කෞතුකාගාරයෙන් සොරාගත් භාණ්ඩවලින් කිහිපයක කොටස් හමුවීමත් සමගය. ගුවන් සේවිකාවක් සහ ඇගේ දියණිය විසින් ත්‍රිරෝද රථ රියැදුරාට පරිස්සමට තබා ගන්නැයි ලබා දුන් බෑගයක එම කෞතුක භාණ්ඩ කොටස් තිබි හමුවිණි. ඒ ගැන ත්‍රිරෝද රථ රියැදුරා තමාට හිතවත් පිළියන්දල පොලිසියේ නිලධාරියකුට පැවැසීමත් සමග එම කෞතුක භාණ්ඩ පිළියන්දල පොලිසියේ නිලධාරීන් කෞතුකා-ගාරයට ඉදිරිපත් කොට කෙරුණු පරීක්ෂණ-යකින් ඒවා කෞතුකාගාරයේම භාණ්ඩ බව තහවුරු කර ගත්තේය. අනතුරුව ගුවන් සේවිකාවද ඇගේ දියණියද ඇතුළු කිහිප දෙනකු පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග පරීක්ෂණ සියල්ල භාර කෙරෙන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයටය.
දීර්ඝ විමර්ශනයකින් අනතුරුව කෞතුකාගාරයෙන් සොරාගත් භාණ්ඩවලින් සැලකිය යුතු කොටසක් සොයාගන්නා කොළඹ අපරාධ කොට්ඨාසය එම කෞතුක භාණ්ඩ ළඟ තබාගත් සහ මිලදී ගත් දහ පහළොස් දෙනකුම අත්අඩංගුවට ගත්තේය. ඒ අතර රන් අබරණ සාප්පු හිමිකරුවකු පවා සිටියේය.
එහෙත් කෞතුකාගාරයට රිංගා කෞතුක භාණ්ඩ සොරාගත් කිසිදු පුද්ගලයකු ඒ අතර නොවීය. කෞතුකාගාර සොරකම සිදු කළේ කවුරුන්දැයි වත් ඒ අයද දැන සිටියේ නැත. අඩු මිලට ලද ඒ කෞතුක භාණ්ඩ මිලදී ගත්තා හැරුනු කොට ඔවුන්ට එම භාණ්ඩ ගෙනැවිත් දුන්නේ කවුරුන්ද , ඒවා ඔහුට ලැබුණේ කෙසේ ද යන්නවත් සොයා බලා තිබුණේ නැත. ඒවා සොයන්නට වූයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ය.
ලන්සගේ ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් කනේ ගෙඩියා ගැන කතාවක් එන්නේ එහිදීය. ඒ එම කෞතුක භාණ්ඩ විකුණා තිබුණේ ඔහු බැවිනි.
ඒ වන විට උන්හිටි තැන් වලින් අතුරුදන්ව සිටි ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් කනේගෙඩියා මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවෙකු බවද පොලිසිය කිවේය. නමුත් ඔහු සාමාන්‍ය මත්කුඩු භාවිත කරන්නෙකු ලෙස ඉබාගාතයේ ඇවිදින්නෙකු නොවන බවත්, කලක් පොල්ගස්ඕවිට ප්‍රදේශයේ තැපැල් කන්තෝරුවක පවා සේවය කර ඇති බවත් විමර්ශනවලින් අනාවරණය කර ගත් පොලිසියට පැහැදිලි වූයේ යයි පැවසේ.
කලක් කරවල ව්‍යාපාරයකද තවත් කලෙක තේ කුඩු ව්‍යාපාරයකද නිරතව සිට ඇති ඔහුට රට පුරාම අනියම් බිරින්දෑවරු ද සිටින බව ඒත් සමගම පැවසිනි. එම බිරින්දෑවරුන්ට ඔහු සලකන්නේත්, මත්කුඩු භාවිත කරන්නේත් සොරකම්වලින් උපයාගන්නා මුදලින් බවද පොලිසියට පැහැදිලි විය.
පොලිසිය කියන විදියට ඒ වන විට ඔහු තමා සතුව තිබුණු සියලුම ජංගම දුරකථන විසන්ධිකර සිටියේ පොලිසියට ඔහු සිටින තැනක් ගැන හෝඩුවාවක් වත් සොයාගත නොහැකිවන ලෙසිනි. ඔහු සිය අනියම් බිරින්දෑවරුන්ගේ නිවෙස්වලට ගොස් කාලය ගතකර තිබුණේය. ගල්ගමුවේ සහ බදුල්‍ලේ පිහිටි අනියම් බිරින්දෑවරුන්ගේ නිවෙස්වලින් ඔහු පලාගොස් තිබුණේ පොලිසිය එම නිවෙස් වටලන්නට දිනක් දෙකක් තිබියදීය.
ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් කනේ-ගෙඩියා ගැන ඉන් එහාට කිසිදු තොරතුරක් පොලිසියට නොවීය. ඔහුගේ ඡායාරූපයක් පවා මාධ්‍යයට ඉදිරිපත් කරමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට මහජන සහය පවා පොලිසිය ඉල්ලා සිටියේය. ඒ සාර්ථක තොරතුරකට රුපියල් ලක්ෂ පහක් ද වෙන් කරමිනි.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රියන්ත මෙන්ඩිස් එතෙක් පරිහරණය කළ දුරකථන අංක පුළුල් ජාල පරීක්ෂාවකට ලක් කරන්නට විය. ඒ අතර ඔහුගේ අනියම් බිරින්දෑවරුන්ගේ දුරකථන අංක කිහිපයකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විශ්වාස කරන්-නට වූයේ ඔහු කොතැනක සැඟවී සිටියත් බිරින්දෑවරුන්ට කුමන හෝ මොහොතක කථා කරාවි යැයි කියාය.
ඒ විශ්වාසය වැඩි කාලයක් නොගොස් තහවුරු වූයේය. ඒ දුරකථන ජාල පරීක්ෂාවට ඔහුගේ අලුත්ම දුරකථන අංකය හසුවෙමිනි. ඒත් ඔහු ඊයේ සිටි තැන අද නොසිටින බව දත්ත විශ්‍ලේෂණයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට පෙනී ගිය බව පැවසේ. එබැවින් හරිහැටි ඔහු ඉන්නා තැනක් සොයා ගැනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට පැහැදිලි විණි.
ඒ නිසාම ඔහුව කොටුකර ගැනීමට ඇමක් ලෙස කාන්තා නිලධාරිනියක් යෙදවීමට විමර්ශකයෝ තීරණය කළහ. ඒ ලන්සගේ ප්‍රියන්ත මෙන්ඩිස් ස්ත්‍රී ලෝලියෙකු බව ඔහුගේ අනියම් බිරින්දෑවරු ගණනින්ම පැහැදිලි වීම නිසාය.
ඒ වන විට ඔහු කැරකෙමින් සිටියේ මීගමුවේය. ඒ බව පැහැදිලි වන්නේ ද දුරකතන ජාල පරීක්ෂාවේදීය.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්ත-මේන්තුවේ විමර්ශකයන් විසින් යොදවන ලද කාන්තා නිලධාරිනිය අහඹු ලෙස ලබාගත් දුරකථන ඇමතුමක් හරහා ප්‍රියන්ත මෙන්ඩිස් සමග හිතවත්කමක් ඇතිකරගෙන සිටියාය. ඇය ඉතා ලස්සනට ඔහුව වශීකරගෙන සිටියේ ඔහු තුළ ඇය මුණ ගැසෙන තුරු නොඉවසිල්ලක් ඇති කරවමිනි.
ඒ දිනය උදාවන්නේ ඉකුත් 27 වෙනිදාය. ඒ යම් සැලසුමකට අනුවය.
ඊට අනුව දෙදෙනා මුණ ගැසෙන්නේ මීගමුව වෙරළේදීය. කල්තියාම මීගමුව වෙරළේ රැකවල් ලාගෙන සිටි විමර්ශකයෝ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් කනේගෙඩියා කොටුකර ගත්තේ පැන යාමට කිසිදු ඉඩක් නොතබාය. ජාතික කෞතුකාගාර සොරකමේ අබිරහස විසඳෙන්නේ ඒත් සමගය.
දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ කෞතුකාගාර සොරකම තමා විසින් කළ බව ඔහු පිළිගන්නට වූයේ තමාට යැයි කියා වාහනයක් තිබුණේ නම් රාජසිංහ රජුගේ සිංහාසනය සහ ඔටුන්න පවා රැගෙන යන බව සඳහන් කරමින් බව පොලිසිය පවසයි. ඔහු එසේ කියන්නට වූයේ ඒ තරමටම කෞතුකාගාර ආරක්ෂාව දුර්වල මට්ටමක පැවැති නිසා විය හැකිය.
පොලිසිය පවසන ආකාරයට අනුව කෞතුකාගාරයේ භාණ්ඩ සොරකමට ඔහු කෞතුකාගාරයට රිංගන්නේ 16 වෙනි සිකුරාදා රාත්‍රියේදීය. සොරකම හෙළිවන්නේ 17 වෙනි සෙනසුරාදාය. ඒ කෞතුකාගාරය විවෘත කරන මොහොතේදීය.
එදා සවස තමා කෞතුකාගාරයට ඇතුළු වූයේ කෞතුකාගාරය නැරඹීමට ටිකට් පතක්ද රැගෙන බව සොරකම සිදුකළ ආකාරය ගැන කෙරුනු ප්‍රශ්න කිරීම්වලදී ප්‍රියන්ත මෙන්ඩිස් පවසා ඇත්තේය. ඒ වන විට ඔහු බිඩි විස්සක මිටියක්ද රැගෙන යාමට අමතක කර නැත. එසේම එදා ඔහුගේ කරෙහි ගමන් මල්ලක්ද තිබි ඇත. ඒ ඔහු යන යන තැන රැගෙන යන එකකි. එහි ඇඳුම් කඩමලු අසුරා තිබි ඇත. එම ඇඳුම් අතර ඇඳි ඇතිරිල්ලක්ද තිබි ඇත. මේ ඔහු රෑට නිදා ගැනීමේ දී පොරවා ගන්නා ඇතිරිල්ලය.
මේ සියල්ල රැගෙන ඔහු කෞතුකාගාරයට ඇතුළුවන්නේ යම් සැලසුමකට අනුවය. ඒ සැලසුම ක්‍රියාත්මක වන්නේ කෞතුකාගාරය එදින සවස වසා දැමූ පසුවය. ඒ වනතුරු ඔහු සිට ඇත්තේ කෞතුක භාණ්ඩ කාමරයක ඇති අල්මාරියක් පිටුපස සැඟවීය.
එසේ සැඟවුණු ඔහු ඒ තැනින් එළියට එන්නේ කෞතුකාගාරයේ දොරගුළු වැසී පැයක් හමාරක් පමණ කාලයක් ගිය තැනය. අනතුරුව ඔහු අතපත ගා ගන්නට හැකි කෞතුක භාණ්ඩ මොනවාදැයි අඳුරේම නිරීක්ෂණය කොට අවසානයේ ඉහළ මහලේ ඇති කෞතුක භාණ්ඩ තොගයක් සොරාගන්නට කටයුතු කරනුයේ පහසුවෙන් විකුණාගන්නට හැකි කෞතුක භාණ්ඩ ඒවා බව අවබෝධකර ගැනීමෙන් අනතුරුවය.
එම කෞතුක භාණ්ඩ තිබුණේ වීදුරු ආවරණ කළ ප්‍රදර්ශන පෙට්ටි තුළය. අගුල්ලා තිබුණු එම ප්‍රදර්ශන පෙට්ටි ඔහු විවරකරනු ලැබුවේ කුඩා ඉස්කුරුප්පු නියනක ආධාරයෙනි. ඔහු එයද කල්තියා සූදානම් කරගෙන තිබූවකි.
බිඩි බොමින් මැදියම පසුවන තුරු කෞතුකාගාරය තුළ හොල්මන් කළ ප්‍රියන්ත මෙන්ඩිස් ඒ කෞතුකභාණ්ඩ දමා ගන්නේ ඔහු රැගෙන පැමිණි ගමන් මල්‍ලේය. සොරාගත් කඩු සහ බස්තම් බෑගයට වඩා දිගය. එබැවින් එම භාණ්ඩ බෑගයට රිංගවීමට ඉඩකඩ මදය. එබැවින් ඔහු කඩු සහ බස්තම් දෙකට නවා තලා බෑගයට රිංගවාගෙන තිබුණේ රැගෙන යා මේ පහසුවටය.
මේ සියල්ල අවසානයේ ඔහු කෞතුකාගාරයෙන් එළියට බසින්නේ ඉහළ මහලේ සඳළු තලයේ ඇති ජනේලයක් විවරකරය. ඒ ඇඳ ඇතිරිල්ල කඹයක් ලෙස යොදාගනිමින් සඳළු තලයේ සිට බිමට බසිමිනි
ඒ වන විට ඔහුගේ ඇඟිලි සලකුණ රාශියක් සුදු පැහැති බිත්තියේ ඉතා පැහැදිලිව සටහන්ව තිබුණේය. සොරාගත් කෞතුක භාණ්ඩ තිබුණු වීදුරු කුටිවලද ඇඟිලි සලකුණු සටහන්ව තිබුණේය. එකී ඇඟිලි සලකුණු දහ නවයක්ම පොලිසිය සොයාගෙන තිබුණේය. එම ඇඟිලි සලකුණු ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් කනේ ගෙඩියාගේ යැයි මේ වන විටත් තහවුරු වී හමාරය. එය කෞතුකාගාර සොරකම තමා විසින් කළ බවට ඔහු කරන වාචික ප්‍රකාශය විද්‍යාත්මකව තහවුරු කෙරෙන්නෙකි.
එසේම ඔහු කෞතුකාගාරය තුළ සිට බිව් බිඩි කොටවල ගෑවී තිබුණු ඛිෙටයද ඔහු පැළඳි කෞතුකාගාරයේ අතහැර ගොස් තිබුණු හිස් වැසුමක තිබි සොයාගත් හිස කෙස්ද , සඳළු තලයේ සිට බිමට බසින විට ඇද ඇතිරිල්‍ලේ ගෑවුණු දහඩියද ඩී.එන්.ඒ. පරීක්ෂාවකට යොමුකර තිබුණේය. ඒද ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් කනේගෙඩියා කොටුවන්නට පෙරය. දැන් ඔහු සිටින්නේ පොලිස් අත්අඩංගුවේ බැවින් ඩී.එන්.ඒ. පරීක්ෂාවකට ඔහුව යොමු කිරීමෙන් ද තවදුරටත් විද්‍යාත්මක සාක්ෂි ඔහුට එරෙහිව ගොඩනැගීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි.
මෙහිදී මත්කුඩු භාවිත කරන්නෙකු කෞතුකාගාරයක් බිඳීමට තරම් එඩිතර දැයි ගැටලුවක් යමෙකුට පැන නැගිය හැකිය. ඊට පොලිසිය පිළිතුරු දෙන්නේ ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් කනේගෙඩියාගේ හැසිරීම සාමාන්‍ය මත්කුඩු භාවිත කරන්නෙකු සේ නොවන බව කියමිනි. දිනකට රුපියල් දහ අට දහසක පමණ මත්කුඩු උරන්නට පුරුදු වී සිටින ඔහු ඒ සඳහා මුදල් සොයා ගත්තේ සොරකම් මගිනි. එසේම ඔහු අනියම් බිරින්දෑ-වරුන් නඩත්තු කරන්නේද සොරකම්වලින් උපයන මුදලින් බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
ප්‍රියන්ත මෙන්ඩිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇති ආකාරයට අනුව ජාතික කෞතුකාගාරයට ඇතුළු වී කෞතුක භාණ්ඩ සොරා ගැනීමට සිතක් ඔහුට පහළ වී ඇත්තේ අතේ සතේ නොමැතිව කොළඹ වටේ කරක් ගසිමින් සිටියදී නිකමට මෙන් කෞතුකාගාර සොරකම සිදු කළ දිනට පෙර දින කෞතුකාගාරය නැරඹීමට ගිය විටදීය. ඔහු ඒ යන්නේද අතපත ගාගෙන යන්නට හැකි වටිනා කියන දෙයක් එහි තිබේ දැයි බලන්නටය. ඒ යන්නේද කෞතුකාගාරය නැරඹීමට ප්‍රවේශ පත්‍රයක් ද රැගෙනය.
ඒ යන ඔහු එක්තරා ස්ථානයකදී කෞතුක භාණ්ඩ ඇති කබඩ්ඩුවක් විවෘත කර ඇති බව සඳහන්ය. කෞතුකාගාරයේ ඇති ආරක්ෂිත කැමරා පද්ධතිය ඔහු දැක ඇත්තේ එවිට බව පැවැසේ. ආරක්ෂිත කැමරා පද්ධතිය ක්‍රියාත්-මක නම් තමා කළ ඒ ක්‍රියාව එම කැමරාවෙන් ආරක්ෂක බලධාරීන් දැක තමා වෙත පැමිණෙන බව ඔහු දැන සිට ඇත. එහෙත් කිසිදු ආරක්ෂක නිලධාරියෙකු නොපැමිණි බැවින් ආරක්ෂිත කැමරා ක්‍රියාත්මක නොවන බව පෙනී ගිය බව ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇතැයි කියැවේ. පසුදින රාත්‍රී කාලයේ කෞතුකාගාරය බිඳ වැඩි යමක් රැගෙන යන්නට තීරණය කළේ ඒත් සමග බව ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇති කරුණකි.
පොලිසිය පවසන ආකාරයට අනුව ඊට මාස දෙක තුනකට ඉහත ඔහු කෞතුකාගාරය ආසන්නයේ ඇති වැඩ බිමකද කම්කරුවකු ලෙස සේවය කර තිබේ. ඒ ව්‍යාපාරිකයකුට අයත් නිවසක ඉදිකිරීම් වැඩ බිමකය. එහි වැඩකරන විටද කෞතුකාගාරයට ඇතුළු වී එහි ඇති දෑ මොනවාදැයි බලන්නට ආශාවක් ඔහුට තිබි ඇත.
මත්කුඩු උරන්නෙකුට එවැනි ආශාවන් ඇතිවේ දැයි ගැටලුවක් ඒත් සමගම පැන නගින්නට පුළුවන. පොලිසිය නම් පවසන්නේ එය ඔහුගේ හැසිරීමේ හැටි බවය. රට වටා වැඩබිම්වල රැකියාවල නිරතව සිට ඇති ඔහු ඒ ප්‍රදේශවල පෞරාණික සහ ප්‍රසිද්ධ ස්ථානවල සංචාරය කිරීම පුරුද්දක් කරගෙන සිටින්නෙකු බව විමර්ශනවලින් ද අනාවරණය වූ බව පොලිසිය පවසන කාරණාවකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව අත්අඩංගුවට ගන්නා විටද ඔහු සිට ඇත්තේ මීගමුවේය. ඒද පෞද්ගලික ඉදිකිරීම් සමාගමක කම්කරුවකු ලෙස මීගමුව වෙරළේ ඉදිවන සංචාරක හෝටලයක සේවයේ නිරත වෙමිනි. පොලිස් කාන්තා නිලධාරිනියක් ඔහුගේ දුරකථන පෙම්වතිය බවට පත්කර මීගමුව වෙරළේදී කොටුකරගන්නට මග පෑදෙන්නේ ඔහු මීගමුවේ සිටි බැවිනි.
පොලිසිය කියන කතාව පොඩි දරුවෙක්වත් විශ්වාස කරන්නේ නෑ
- ඕමල්පේ සෝභිත හිමි
කෞතුකාගාර සොරකම සම්-බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ඇසුරෙන් කියැවෙන කතා මොනවා වුවද ඒ පිළිබඳ සැක පළ කරන පිරිස්ද නැතුවා නොවේ. ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළ ප්‍රධාන කෙනෙකි. ප්‍රියන්ත මෙන්ඩිස් නමැති මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුවද උන්වහන්සේ මේ පිළිබඳ සැක මතු කරමින් අදහස් පළ කළහ. පහත පළවන්නේ ඕමල්පේ සෝභිත හිමියන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකි.
“කෞතුකාගාර කොල්ලයට සම්බන්ධව කන්ගැට්ටා නමැත්තා සැකකරුවෙක් ලෙස පොලිස් අත්අඩංගුවට පත්වීම පිළිබඳ අප සන්තෝෂ වෙනවා. නමුත් වැදගත් වන්නේ නිවැරදි පරීක්ෂණ මගින් සාධක සහිතව මේ අපරාධකරුවා පිළිබඳ තහවුරු කිරීමයි.
මේ අපරාධය සිදුවූ මොහොතේ සිට දිගින් දිගටම අප දුටුවේ පොලිසියේ මන්දෝත්සාහී බවයි. අප කම්පාවට පත් වුණේ, මවිතයට පත් වුණේ මෙබඳු මහා ජාතික ව්‍යසනයකදී පොලිසිය හැසිරුණු ස්වරූපය නිසයි. තවමත් ඒ හැසිරීම ප්‍රශ්නකාරීයි. පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුගේ “වන් මෑන් ෂෝ” අපරාධය ගැන පොලීසිය මේ කියන කතාව පොඩි දරුවෙක්වත් විශ්වාස කරන්නේ නෑ.
හොරකම වන දවසේ ආරක්ෂක කැමරා ක්‍රියා විරහිත වී තිබූ බව කෞතුකාගාර අධ්‍යක්ෂවරියවත් දැනගෙන හිටියේ නෑ. සැකකරු මේ කැමරා අක්‍රිය කළාද, ඔහු වෙනුවෙන් කවුරුන් හෝ ඒ කැමරා ක්‍රියාවිරහිත කළාද? මුරකරුවන් අතරින් ඔහු බේරී ගියාද? මුරකරුවන් ඔහුට යන්න දුන්නද? ඇත්තටම මෙය වන් මෑන් ෂෝ එකක්ද කියන ප්‍රශ්න තවමත් රට හමුවේ තියෙනවා. ඔහු කියපු විදිහට කෞතුකාගාර හොරකම වුණානම් ඒක මේ රටේ ආරක්ෂක සේවාවට වූ බරපතළ නින්දාවක්.....
අපට අපරාධයක් වුණාම අප යන්නේ පොලිසියට. රටට අපරාධයක් වුණාම යන්නෙත් පොලිසියට. පුරවැසියෝ විදියට අපට පිහිට ඉල්ලන්න තියෙන තැනේ විශ්වාසය පළුදු වෙනවා නම් එබඳු රටකට යන කල ඉතාම ඛිෙදනීයයි. රට එහෙම තැනකට පත් නොකර මේ අපරාධයට සම්බන්ධ යැයි පෙනෙන මුරකරුවන්, කෞතුකාගාර සේවකයින් තවත් පෙනෙන නොපෙනන බලවේග ගැන අලගිය මුලගිය තැන් නිවැරදිව හොයලා රටේ උරුමය වැනසූ මේ ජාතික අපරාධයේ ඇත්ත මේ රටට හෙළි කරන්න කියන ඉල්ලීම නැවත අප පොලිසියෙන් ඉල්ලනවා”
- ගයාන් කුමාර වීරසිංහ