Chitika Smowtion 468x60


Thursday, January 26, 2012

ස්වර්ණවාහිනියෙන් ඉවත්වීම ගැන හරින්ද්‍ර කතා කරයි


මිනිස්සුන්ට එපා වෙන්න කලින් අයින් උනා
වෙබ් අඩවි වල ගිය බොරු හිනා වේවි බැලුවා 


පසුගියදා ස්වර්ණවාහිනී ආයතනයෙන් ඉවත්වූ එහි හිටපු ප්‍රවෘති අංශයේ ප්‍රධානියා වන හරින්ද්‍ර ජයලාල් අද ලක්බිම පුවත්පතට සිය අස්වීමට හේතු හෙළිකර තබෙනවා.පහතින් පලවන්නේ එම ලිපියයි. 


ඔබ ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉල්ලා අස් වූ බවට කතාවක් මේ වන විට පැතිර යනවා. මෙය ඇත්තක්ද?

ඔව්. නමුත් එය හදිසියේ සිදුවූවක් නොවේ. 2012 වසර මම මුලසිටම සැලසුම් කරගෙනයි සිටියේ. මම ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න පටන් ගෙන මේ අවුරුද්දකට වසර 10ක් සම්පූර්ණ වෙනවා. ඒ නිසා මම හිතාගත්තා මිනිස්සුන්ට මාව එපාවෙන්න කලින්, අලුත් පරම්පරාවටත් අවස්ථාව ලබාදිලා ඉවත්විය යුතුයි කියලා. 


මම මීට අවුරුදු තුනකට කලින් ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශය බාර ගත්තේ, ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය බවට පත්කරනවා කියන බලා‍පොරොත්තුව ඇතිවයි. මම ඒ කටයුත්ත මාස හයකින් ඉෂ්ට කළා. අනෙක් කාරණය වුණේ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අවුරුදු තුනකින් ඉහළම තත්ත්වයකට පත්කරලා එම තනතුරෙන් ඉවත්වෙනවා කියලයි.

මහන්සියෙන් සහ කැපවීමෙන් ලබාගත් තත්ත්වයන් මත මම හිතුවා තවත් අලුත් කටයුත්තක් ආරම්භ කරමින්, ස්වර්ණවාහිනී නාළිකාවෙන් ඉවත්වන්න. මොකද, යම් කෙනෙක් එකම තැනක සදාකාලිකව රැඳී සිටිය යුතුයි කියලා නියමයක් නැහැනේ. ඒ නිසා පසුගිය සතියේදී මගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන්නා.

නමුත් ආරංචිය පැතිරගියේ, ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග ඇති වූ ගැටලුවක් මත ඔබ ඉන් ඉවත් වූ බවටයි? 


මා සහ ස්වර්ණවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලය අතර එවැනි කිසිදු ගැටලුවක් ඇතිවෙලා නැහැ. මුළු ඊ.ඒ.පී. සමාගමම කැමති නෑ මම ආයතනයෙන් ඉවත් වෙනවාට. සෝමා එදිරිසිංහ මහත්මිය ඇතුළු මුළු අධ්‍යක්ෂ මණ්ඩලයම මට කිව්වේ ඔවුන් සමග දිගටම රැඳී ඉන්න කියලයි. නමුත්, මෙය මගේම හිතසුව පිණිස ගත්ත තීරණයක් නිසා ඔවුන් ඊට අකමැත්තෙන් වුවත් එකඟ වුණා. 


මොකද , මගේ වැටුප්, තනතුරු සම්බන්ධ ගැටලුවක් මත මම ඉවත්වනවා නම් තමයි ඔවුන්ට එම ගැටලුව විසඳන්න පුළුවන්. නමුත්, මම ඔවුන්ට ‍පොරොන්දු වුණා පිටත ඉඳගෙන වුණත් නාළිකාව වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් උපරිමයෙන් ඉටුකරන්න. 

මොකද මම බිහිවුණේ ස්වර්ණවාහිනියෙන්, ඒ වගේම මගේ හැකියාවන් උපරිමයෙන් පෙන්වන්න ලැබුණේ ස්වර්ණවාහිනියෙනුයි. මා සහ අධ්‍යක්ෂ මණ්ඩලය අතර ඇති වූ ගැටලුවක් මත මම ඉවත්වුණා කියලා ඇතැම් වබේ අඩවිවල පළවූ කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මමත් අධ්‍යක්ෂ මණ්ඩලයේ අයත් එකට වාඩිවෙලා ඒවා නරඹමින් හිනාවෙවී කතා බහ කළෙත් මේ වගේ අසත්‍ය ප්‍රචාර පැතිරෙන්නේ කොහොමද කියලයි.

ස්වර්ණවාහිනියෙන් ඉවත්වීමෙන් පසුව, වෙනත් නාළිකාවක් සමග සම්බන්ධ වීමේ අදහසක් ඔබ තුළ තිබෙනවාද? 

ස්වර්ණවාහිනී නාළිකාවේ පූර්ණ කාලීන සේවයෙන් ඉවත්වුවත්, එහි අමා දහර වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා මම සම්බන්ධ වෙනවා. නමුත් වෙනත් නාළිකාවක් සමග පූර්ණ කාලීනව සම්බන්ධවීමේ බලා‍පොරොත්තුවක් මේ වෙද්දී මා තුළ නැහැ. එය තීරණය වන්නේ, ස්වර්ණවාහිනිය මට දක්වන ආදරයත්, මම ස්වර්ණවාහිනියට දක්වන ආදරයත් මතයි.

මෙපමණ කලක් සේවය කළ ආයතනයෙන් ඉවත්වීමේදී ඔබට කනගාටුවක් දැනුණේ නැද්ද? 

එය මගේ මිතුරනුත් නිතරම මගෙන් විමසන කාරණයක්. මම හරිම සතුටෙනුයි ස්වර්ණවාහිනි-යෙන් ඉවත් වුණේ. ස්වර්ණවා-හිනියේ සේවය කරද්දී ලැබූ ඇගයීම් සහ කරපු සේවය ගැන සතුටක් මිස කිසිම කනගාටුවක් මට ඇතිවුණේ නැහැ. මොකද මම එයින් ඉවත් වුණේ මාව එපාවුණු කාලෙක නොවෙයි, මාව ඕනෑ කියන කාලයකයි. ඒ ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.

ඔබ ස්වර්ණවාහිනියෙන් ඉවත් වුණේ තවත් අලුත් කටයුත්තක් සඳහා මුලපුරමින් , අපි ඒ ගැනත් සඳහන් කරමු. 

ඔව්. මගේ අලුත් කටයුත්ත වන බෙස්ට් වොයිස් මීඩියා ඇකඩමිය මේ මාසේ 28 වැනිදා ආරම්භ කරන්න මේ වන විට කටයුතු සූදානම් කරලයි තිබෙන්නේ. පසුගිය කාලයේ අපේ ප්‍රවෘත්ති අංශයේ සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වුණු අය දුටුවිටත් මට වැටහුණේ නිවේදකයින් වීම සඳහා ඒ ළමයි තුළ ඇත්තේ ආසාව පමණයි කියලා. 


ඒ අයගේ හැකියාවන් දියුණු කරන්න කෙනෙක් මේ වන තෙක් ඉදිරිපත් වෙලා නැහැ. නමුත් මම දන්නවා, නිවේදකයකු තුළ තිබිය යුතුම සුදුසුකම් මොනවාද කියලා මේ ආයතනයෙන් කෙරෙන්නේ, නිවේදකයකු වීමට ආසාවෙන් පසුවන අයගේ හැකියාවන් වැඩි දියුණු කරලා, ඒ හරහා බය නැතිව ඕනෑම ආයතනයකට ගොස් තමන්ගේ හැකියාවන් පෙන්වලා රැකියාව ලබාගන්න පුළුවන් තත්ත්වයට ඔවුන්ව ගෙන ඒමයි. 


මම ස්වර්ණවාහිනිය වැඩසටහන් සහ ප්‍රවෘත්ති ඉදිරිපත් කළා වගේම මගේ හදවතින්මයි මේ කටයුත්-තටත් සම්බන්ධ වෙන්නේ. 0716356592 දුරකථන අංකයට අමතලා ඕනෑම කෙනෙකුට මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්.

ලක්බිම - ක්‍රිෂාන් කනංකේ  


Share this article with your friends