Chitika Smowtion 468x60


Friday, March 16, 2012

ගනේගල, කැබිනට් මණ්ඩලය නොමග යැවීමට යළි සැරසේ


‘‘ජනාධිපති මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයේ’’ ඉදිරි කටයුතු අතපසු කරමින් අමාත්‍ය මණ්ඩලය තුන්වරක් නොමග යැවූ ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.බී. ගනේගල මහතා සිව්වන වරටත් අමාත්‍ය මණ්ඩලයට නොමග යැවීම සඳහා වූ වැඩපිලිවෙලක් සූදානම් කරමින් සිටින බව එම අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
2010 මාර්තු 03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනමාධ්‍ය ලේකම් ගනේගලට වසරක් ඇතුලත පහත සදහන් කාර්යයන් නිම කරන ලෙස නියම කරනු ලැබීය.

එම මූලික කාර්යයන් නම්
1.    මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානය අවුරුද්දක් ඇතුලත පනතක් මගින් නීත්‍යානුකූලව සංස්ථාපනය කිරීම හා එතෙක් එනම් 2010 මාර්තු 03 දින සිට එක් අවුරුද්දකට යෝජිත තාවකාලික පාලක මණ්ඩලයක් පත් කිරීම.

2    අවුරුද්දක් ඇතුලත යෝජිත කාර්ය මණ්ඩලය පත්කිරීම හා ඉදිරියේ දී විධිමත් සේවක සංඛ්‍යාවට අන්තර්ග‍්‍රහනය කිරීම.

ගනේගල ලේකම්වරයා මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයේ තාවකාලික පාලක මණ්ඩලයේ ප‍්‍රධානියා විය. නමුත් කාර්ය මණ්ඩලය පත්කිරීම හා නීත්‍යානුකූල ආයතනයක් බවට පත්කිරීම සදහා මේවනතුරු කිසිදු පියවරක් ගෙන නොමැති ඔහු කැබිනට් මණ්ඩලය නොමග යැවීය.

2010 මාර්තු 03 වැනිදා ලැබූ මුල් කැබිනට් අනුමැතිය 2011 මාර්තු 03 දින අවසන් වූවත් ගනේගල ලේකම්වරයා අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව තමන්ගේ හිතුමතයට රන්මිණිතැන්නේ පාලනය ගෙන ගියේය. අමාත්‍ය මණ්ඩල තීරණ තමන්ගේ හිතුමතයට පාලනය කරමින් ගනේගල දෙවන වරටත් කැබිනට් මන්ඩලය මුලාකළේය.

මේ හිතුවක්කාර පාලනය පිලිබදව ජනාධිපති සම්බන්ධීකරන ලේකම් නීල් වීරතුංග මහතා විසින් ජනාධිපති කාර්යාලය වෙත වාර්තාවක් කිරීමෙන් පසු ගනේගලට නැවත අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට සිදුවිය.

ඒ අනුව 2011 ඔක්තෝබර් 12 දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය කාර්ය මණ්ඩලය පත්කිරීමට හා සිනමා ගම්මානය නීත්‍යානුකූල ආයතනයක් බවට පත්කිරීමට එදින සිට මාස හයක් කල්දී තිබූ අතර එම කාලය 2012 මාර්තු වලින් අවසන් වේ.

එහෙත් මෙතෙක් පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම තබා එවැන්නක් කෙටුම්පත් කිරීම පවා නිසි පරිදි සිදුකර නැත. කාර්ය මණ්ඩලය පත්කිරීම පිළිබදව මෙතෙක් කිසිවක් සිදුකර නොමැත. ගනේගල මහතා තෙවන වරටත් කැබිනට් මන්ඩලය නොමග යැව්වේ එසේය.

ගනේගල ලේකම්වරයා ටෙලි සිනමා ගම්මානයේ කටයුතු නිම කිරීම සදහා තවත් අවුරුද්දකට කල් ඉල්ලා අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාවක් සකසමින් සිටී. ඒ සිව්වන වරටත් අමාත්‍ය මණ්ඩලය නොමග යැවීමේ අරමුනෙනි.

මෙම අනපනත් සැකසීමට හා කාර්ය මණ්ඩල බදවා ගැනීම් කටයුතු සදහා නීති නිළධාරියෙකු හා මානව සම්පත් කළමනාකරුවෙකු මීට අවුරුදු දෙකකට පෙර බදවා ගෙන ඇත. තවමත් ඔවුන් සේවයේ යෙදී සිටී. ඔවුන්ට වැටුප් නිල වාහන හා ඉන්ධන සදහා මිලියන ගනනින් ගෙවමින් එම නිළධාරීන්ගේ සේවා කාලය වසරින් වසර දීර්ඝ කරන අතර අණ පනත් සැකසීම හෝ කාර්ය මණ්ඩලය පත්කිරීම සිදුවන්නේ නැත.

ලේකම්වරයාගේ පුද්ගලික වැඩ කරදීමට සිදුව ඇති හෙයින් රාජකාරී කටයුතු කල නොහැකිව ඇතැයි මෙම නිළධාරීන් දෙදෙනා මැසිවිලි නගිති.

2011 වසරේ මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානයේ දෙවන අදියර සදහා ජනාධිපතිවරයා විසින් රුපියල් මිලියන 200 ක් වෙන් කල ද එම මුදලින් කිසිදු ප‍්‍රයෝජනයක් නොගෙන ජනාධිපතිවරයා නොමග යැවූ ගනේගලට කැබිනට් එකට කොකා පෙන්වීම මහ කජ්ජක්දැයි ටෙලි සිනමා ගම්මානයේ උසස් නිළධාරියෙකු පැවසීය.

ගනේගල විසින් ජනාධිපතිවරයා නොමග යැවූ වාර ගණන අනන්තය. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කර ඇත්තේ ද ජනපතිවරයා නොමග යවමිනි. එය සිදුකර ඇත්තේ දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු අවුල් කොට තවත් සේවා දිගුවක් ලබා ගැනීම සදහා පිඹුරුපත් සැකසීමටය.


Source - lankanewsweb.com

Share this article with your friends