Chitika Smowtion 468x60


Friday, March 16, 2012

විමල් පිස්සු කෙලිනවා - ජනාධිපති කියයි


විමල් වීරවංශ අමාත්‍යවරයා කිසිදු විමසීමකින් තොරව කටයුතු කරන බවත්, එය රජයේ කටයුතුවලට බාධාවක් වී ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (14) රාත‍්‍රියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප‍්‍රකාශ කර තිබේ.


එම කැබිනට් මණ්ඩල රැස්වීමට අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී වී නොමැති අතර ඇමරිකානු භාණ්ඩ වර්ජනය කරන්නැයි ඔහු කළ ප‍්‍රකාශය සමහරක් ඇමතිවරුන්ගේ විවේචනයට ලක්වී තිබේ. ‘‘කොහේද ඒ යකා පිස්සු කෙලිනවා’’ යැයි ජනාධිපතිවරයා එම අවස්ථාවේදී ප‍්‍රකාශ කර ඇත.

‘‘ඇමරිකාව දිනුවත් මට ප‍්‍රශ්නයක් නැහැ. ඇමරිකාව ඔය යෝජනාව දිනුවත් උන්ට අපට විරුද්ධව කරන්න පුලූවන් කෙන්ගෙඩියක් නැහැ. මම ඔය එක එකාට බය ජාතියේ මිනිහෙක් නෙමෙයි.’’ යැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේදී විමල් වීරවංශ අමාත්‍යවරයාව හෑල්ලූවකට ලක්කරමින් කතාකළද, ඇමරිකාවට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධානය කරන ලෙස ජනාධිපතිවරයා ඔහුට උපදෙස් දී තිබූ බව අප මීට දින කිහිපයකට පෙර වාර්තා කළෙමු.

කෙසේ වුවද විමල් වීරවංශ මහතාගේ ඇමරිකානු බඩු වර්ජනය කිරීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු 2011 වර්ෂයේ EDB වාර්තාව උපුටා දක්වමින් කියා සිටියේ, එම වසරේ අපරටේ අපනයන භාණ්ඩ ප‍්‍රමාණයෙන් 23% ක් යවා ඇත්තේ ඇමරිකාවට බවයි. එහෙත් අපරටට ආනයනය කරන භාණ්ඩ ප‍්‍රමාණයෙන් ඇමරිකාවෙන් ගෙන්වා ඇත්තේ 1.4% ක් වැනි සුලූ ප‍්‍රමාණයකි. අපරටේ වෙළද කලාපයේ නිමි ඇදුම්වලින් වැඩි ප‍්‍රතිශතයක් යවා ඇත්තේ ඇමරිකාවටය. එසේම එම වාර්තාවට අනුව චීනයට අපරටේ අපනයන ප‍්‍රමාණය 1% ක් යවන විට ආනයන ප‍්‍රමාණයෙන් 11% ක් මෙරටට ගෙන්වා තිබේ. එසේම අපරටේ අපනයන ප‍්‍රමාණය 5% ක් ඉන්දියාවට යවද්දී ආනයන ප‍්‍රමාණයෙන් 20% ක් එරටින් ගෙන්වා ඇත. එසේම සිංගප්පූරුවට 2% ක අපනයනයක් සිදුකරන විට මෙරට ආනයන ප‍්‍රමාණයෙන් 14% ක් ගෙන්වා ඇත්තේ සිංගප්පූරුවෙනි.

ඒ අනුව විදේශවලින් මෙරටට ගෙන්වන භාන්ඩ ප‍්‍රමාණයෙන් ඇමරිකාවෙන් ගෙන්වනු ලබන්නේ 1.4% කි. එහෙත් අපරටේ අපනයන ප‍්‍රමාණයෙන් 23% ක් ඇමරිකාවට යවන තත්ත්වය යටතේ, ඇමරිකාව අපේ භාන්ඩ වර්ජනය කළ හොත් එය අපරටේ නිමි ඇදුම් කර්මාන්තයට බරපතල තර්ජනයක් වනු ඇති බව එම ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වුවද අද පෙරවරුවේ පැවති කැබිනට් තීරන දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා අවධාරනය කර සිටියේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ඇමරිකානු බඩු විරෝධය ඔහුගේ පෞද්ගලික අදහසක් මිස රජයේ අදහස නොවන බවයි.



Source - lankanewsweb.com

Share this article with your friends