Chitika Smowtion 468x60


Friday, June 29, 2012

'ශ්‍රී ලංකාවට ප්‍රබුද්ධ දේශපාලන ක්‍රමයක් අවශ්‍යයි'


ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයත් සමග ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධ දේශපාලන ක්‍රමයක් ඇති කළ යුතු අන්දම පිළිබඳ කතිකාවතක් මතු වී ඇතැයි දේශපාලන නායකයෝ කියා සිටිති.
ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයත් සමග වත්මන් මනාප මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ජනතාව කලකිරී සිටින බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේය.
ඝාතනය කෙරුණ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් කොළොන්නාවේ ඉදි කෙරෙන පිළිරුවට මුල්ගල් තබමිනුයි ඉහතකී අදහස් පළකෙරුණේ.
මනාප සහ මැර දේශපාලන ක්‍රමය වෙනුවට ප්‍රබුද්ධ දේශපාලන ක්‍රියාදාමයක් ගොඩනැගිය හැකි නව මැතිවරණ ක්‍රමයක් බිහිකිරීමට කාලය පැමිණ තිබෙන බව, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලන නායකයෝ ප්‍රකාශ කළහ.
සාමකාමී මැතිවරණ
වත්මන් මැතිවරණ ක්‍රමය වෙනුවට සාමකාමී ලෙස මැතිවරණ පැවැත්විය හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසුරිය සඳහන් කළේ.
"දැන් තියෙන, මුදලට, ප්‍රචණ්ඩත්වයට, බලයට සහ ධනයට යට වූ මැතිවරණ ක්‍රමය වෙනුවට මහජනතාව සමග ජීවත්වන, මහජනතාවගේ ගෞරවය දිනාගත් නියම මහජන පුත්‍රයන්ට පාර්ලිමේන්තුවට පැමිණිය හැකි මැතිවරණ ක්‍රමයක් යෝජනා කර තිබෙනවා" යැයි කියා සිටි ඔහු එම මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කිරීම ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ට ලබාදිය හැකි හොදම ගෞරවය යැයි ද පැවසීය.
මෙහිදී අදහස් දක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, උත්තරීතර ආයතනයක් ලෙස හඳුන්වන පාර්ලිමේන්තුවට එහි උත්තරීතර තත්ත්වය රැකගත හැකි අපේක්ෂකයන් පත්කිරීමට පියවර ගන්නා ලෙස සියලු දේශපාලන පක්ෂ නායකයන් ගෙන් ඉල්ලා සිටියාය.
මෙම අවස්ථාවේ භාරත ලක්ෂ්මන් පුනරුද පදනමේ අන්තර්ජාල අඩවිය ද විවෘත කෙරිණි.
- BBC Sandeshaya

Share this article with your friends