Chitika Smowtion 468x60


Wednesday, March 21, 2012

තුලාවට ගිය බව කියන සෙනසුරු තවම ඉන්නේ කන්‍යා රාශියේ


පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සෙනසුරු මාරුවක් වන බවත් එයින් රටේ මහා පෙරලියක් වන බවත් ජ්‍යොතිෂවේදීන් පැවසීමත් සමඟ බොහෝ දෙනා උත්සාහ කළේ තම තමන්ගේ ලග්නයට එයින් වන සුබ අසුබ දැනගැනීමටයි.

සෙනසුරු ග්‍රහයා කන්‍යා රාශියේ සිට තුලා රාශියට මාරු වූ බව ප්‍රකාශ වූවත්, තවමත් එය දිස්වන්නේ කන්‍යා රාශියේ බව පැවසෙනවා. මේ දිනවල රාත්‍රී 10න් පසු නැගෙනහිර අහසේ අඳුරු කහ පැහැයෙන් කන්‍යා රාශිය තුළ පිහිටා තිබෙන සෙනසුරු පියවි ඇසින් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි බවයි පැවසෙන්නේ

කන්‍යා රාශියේ පිහිටා ඇති ස්පයිකා නමැති නිල් පැහැයෙන් බබලන තාරකාවට අංශක 5 ක් පමණ නැගෙනහිරට වන්නට සෙනසුරු පිහිටා ඇති අතර රාත්‍රී 10 පමණ සිට අලුයම දක්වා දිස්වන සෙනසුරු වෘශ්චික (ගෝනුස්සා) රාශිය ආධාරයෙන් පහසුවෙන් සොයාගැනීමට පුළුවන.

වෘශ්චික රාශිය අහසේ දකුණට බරව මුදුන් වන්නට පිහිටා තිබෙන අතර, එහි ගෝනුස්සාගේ හිස නිරූපණය කෙරෙන තරු තුනේ මැද තරුවේ සිට නැගෙනහිර දිශාවට අංශක 30 ක පමණ මනඃකල්පිත රේඛාවක් නිර්මාණය කර ගැනීමෙන් සෙනසුරා සොයාගත හැකි තවත් ක්‍රමයකි.

1986 වසරේ සිට දක්වා මි.මී. 127 (අගල් 5) පරාවර්තක දුර දක්නය මගින් සිය වතාවකට වැඩි වාර ගණනක් සෙනසුරු නිරීක්ෂණය කර ඇති ආධුනික තාරකා විද්‍යාඥ දයාසිරි පෙරේරා මහතා පවසන්නේ එය දැනට දිස්වන්නේ අංශක 25 ක පමණ දකුණු පසට වළලු පද්ධතිය ඇලවී තිබෙන ආකාරයට කන්‍ය රාශියේම බවයි.

‍ජ්‍යොතිෂයට හෝ තාරකා විද්‍යාවට ඇලුම් කරන ඕනෑම කෙනෙකුට සෙනසුරු ග්‍රහයා දැනට පිහිටා ඇත්තේ කුමන රාශියකද දැනගැනීමට අවශ්‍යනම් රජයට අයත් ආයතන දෙකක් වන මොරටුවේ පිහිටි ආතර් සී. ක්ලාක් ආයතනය හෝ කොළඹ 07, ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මගින් දැනගත හැකිය. ඊට අමතරව අන්තර්ජාලය ඔස්සේද තොරතුරු සොයා බැලිය හැකිය.

http://www.nakedeyeplanets.com වබේ අඩවියට පිවිසීමෙන් වසර 2006 සිට 2013 දක්වා සෙනසුරු ග්‍රහයා රාශි චක්‍රය තුළ ගමන් ගන්නා මාර්ගය සහ කාලය පැහැදිලිව පෙන්නුම් කරන අතර එම වෙබ් අඩවියේ සටහනට අනුව 2013 වසරේ අගෝස්තු මාසය දක්වා සෙනසුරු දිස්වන්නේ කන්‍යා රාශිය තුළ බව ඔබට දැකගැනීමට පුළුවන.

ජ්‍යොතිෂඥයින්ට හෝ තාරකා විද්‍යාඥයින්ට අහසේ දිස්වන සෙනසුරු හෝ කන්‍යා රාශිය වෙනස් කළ නොහැකි අතර අප ඇස් ඉදිරිපිට පෙනෙන්නට තිබෙන දේවල් එසේ නොවේ කියා කිසිවෙකුට අභියෝග කළද නොහැකිය.

උච්චවීම, වක්‍රවීම් කෙසේ වෙතත් පියෙවි ඇසින අහස නරඹන ඔබට රැය පුරා සෙනසුරා ග්‍රහයා කන්‍යා රාශිය තුළ පිහිටා ඇති අයුරු පැහැදිලිව දැකිය හැකිය.

ආධුනික තාරකා විද්‍යාඥ දයාසිරි පෙරේරාගේ ලිපියක් ඇසුරෙනි.






Source: http://www.gossip9.com/2012/03/blog-post_5460.html#ixzz1pkI3oRcu 

Share this article with your friends