මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් ද රාජපක්ෂවරුන්ට එරෙහිව නැග එන විරෝධය හමුවේ යළිත් බණ්ඩාරනායකවරුන් සමග සබඳතාවයක් ඇති බව පෙන්වීමට ජනාධිපතිවරයා උත්සාහ දරණ බවත්, වතුපිටිවල රෝහලේ මෙම විවෘත කිරීම එම දේශපාලන ව්‍යාපෘතිය සඳහා යොදා ගත් බවත් පැවසීය. එහෙත් බණ්ඩාරනායකවරුන්ට වාසිසහගතවන ආකාරයට කිසිදු ප්‍රවෘත්තියක් පල වීමට ඉඩ නොතබන්නැයි ජනාධිපතිවරයා ජනාධිපති මාධ්‍ය අංශයට උපදෙස් දි තිබූ බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා මෙහිදී අනුර බණ්ඩාරනායක මහතාගේ සිහිවටන ඡායාරූපයක් නිරාවරණය කිරීම සාහ්යයට කරුණක් බව කියා සිටි එම ඇමතිවරයා, අනුර බණ්ඩාරනායක මහතා ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී මොහුව විසුම්පායෙන් එලවා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය එම උත්සවයට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනෙකු කතා බහ කළ බවද වැඩිදුරටත් පැවසීය.
ඔබේසේකරවරුන්ට හිමිව තිබූ වතුපිටිවල ඉඩම මෙම රෝහල ඉදිකිරීම සඳහා පරිත්‍යාග කර තිබූ අතර, මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතු සඳහා විශාල දායකත්වයක් ලබා දී තිබුණේ බණ්ඩාරනායකවරුන්ය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති ධූරයේ සිටියදී අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන මෙම රෝහල නවීකරණය කිරීම සඳහා මිලියන 250ක් ද පසුව තවත් මිලියන ගණනක්ද වෙන් කර දී ඇති අතර, අනුර බණ්ඩාරනායක මහතා ඔහුගේ පෞද්ගලික ධනය එම රෝහලේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 60කට වැඩි මුදලක් පරිත්‍යාග කර තිබේ. එහෙත් ඒ කිසිවක් සිකුරාදා පැවති උත්සවයේදී ප්‍රකාශ වීම වළක්වා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු යොදා තිබිණ.
මෙම උත්සවය පසුගිය සිකුරාදා (09) පැවැත්වීමට කටයුතු යොදා තිබුණද ඒ සඳහා හිටපු ජනාධිපතිනියට ආරාධනා පත්‍රයක් යවා ඇත්තේ 08 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30ට පමණ බව අප වෙත වාර්තා වේ. එම ආරාධනා පත්‍රය එවීමට පෙර එදින දහවල් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නිවසට දුරකතන ඇමතුමක් ලබා දී ඇති ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විදේශගතව සිටින බව තහවුරු කර ගෙන තිබේ.
රාජපක්ෂවරුන්ට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මතුව ඇති අභ්‍යන්තර අර්බුදය යටපත් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා මේ දිනවල විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග යළි සුහදතාවයක් ගොඩනගා ගැනීම සඳහා බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතාගේද සහය ඉල්ලා තිබේ.
Source - lankanewsweb.com