Chitika Smowtion 468x60


Monday, March 12, 2012

කුවේට් තානාපතිතුමා තවමත් නිහඬයි - ජනපති නන්දා මාලිනිය අමතයි


පසුගිය පළමු වැනිදා අපේ අග‍්‍රගණ්‍ය කලාකාරියක වූ නන්දා මාලිනියට කුවේට් ගුවන්තොටේ දී සිදුකළ අපහාසය පිළිබඳ පුවත් මේ දිනවල සෑම මාධ්‍යයකම පාහේ පළවෙමින්, ඇසෙමින් ඇති බව කාහටත් නොකිවමනාය. 

මෙම සිදුවීම පිළිබඳව සියල්ලන්ට ම ඇත්තේ කුතුහලයක් පමණි. ඒ නම් මෙවැනි මහා අපහාසයකට මුලපිරුවේ කව් ද ? ඒ කුමකට ද යන්නය. 

නන්දා මාලිනිය මාධ්‍ය වලට පවසා තිබුණු අන්දමට මෙම "ඔබයි රම්‍ය සඳ කිරණ" ප‍්‍රසංගය පැවැත්වීමට එම සංවිධායකයින් කටයුතු යොදා තිබී ඇත්තේ කිසිදු හව්හරණක් නැතිව කුවේටයේ අතරමං වී සිටින අහිංසක කාන්තාවන් පිරිසක් අපේ මව්බිමට ගෙන්වා ගැනීමට හා සාමණේර භික්ෂූන් වහන්සේලා 55 නමකට ශිෂ්‍යත්ව පිරිනැමීම උදෙසාය. මෙහි අරමුණ ඉතා අගය කොට සැලකිය යුත්තකි. 


කෙසේ වුවද මෙතරම් උත්කෘෂ්ට අරමුණක් ඇතිව සංවිධානය කළ මෙම මහඟු කටයුත්ත අවසන් වූයේ නන්දා මාලිනිය, සුරේෂ් මාලියද්ද ඇතුළු අපේ සංගීත ශිල්පීන් කිහිප දෙනෙකුට ජීවිතයේ අමිහිරිම හා කටුක අත්දැකීම් එක්කරමින් බව මේ වන විට නොකිවමනාය.
මේ උත්කෘෂ්ට කටයුත්තට අවමන් කළෝ කවරහු ද ? එම පැනයට තවමත් පිළිතුරු ලැබී නැත.


පිළිතුරු සොයන්නට යන බවක් ද පේන මානයක නැත. අප මුලින් සියලූ මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටි පරිදි එම සිද්ධියට අවශ්‍ය ප‍්‍රචාරය  ඕනෑවටත් වඩා ලැබී ඇති බව නිසැකය. එහෙත් මෙයට පිළිතුරු සොයන කිසිවෙක් පිළිබඳ ඉඟියක් හෝ මේ වන විට ද දැනගන්නට නැත. 

කවුරු මේ ගැන පිළිතුරු සොයන්නට නොපෙළඹුණත් අප රට වෙනුවෙන් එරටට ගොස් සිටින කුවේට් හි ශ‍්‍රී ලංකා තානාපතිතුමාට මේ ගැන සොයන්නට කිසිවෙක් ඇඟිල්ලෙන් ඇන කිවයුතු නොවේ. මෙම සිදුවීම සියලූ මාධ්‍ය හරහා පළවීමත් සමඟ ම කුවේට් හි ශ‍්‍රී ලංකා තානාපති සී. ඒ. එච්. එම්. විජේරත්න මහතා කලබල වූවාක් මෙන් මාධ්‍යයන්ට අදහස් දක්වා කියා සිටියේ මේ පිළිබඳව අනිවාර්යයෙන් ම විමර්ශනයක් සිදු කරන බවය. මේ පිළිබඳව විමසන්නට එරට ඉහළ නිලධාරීන් ද හමුවන වගකි. 


මෙම සිදුවීමට දැන් දින කිහිපයක් ගත වී හමාරය. විශේෂයෙන් ම තානාපතිතුමාට ද පසුගිය දිනවල තිබූ කලබලය දැන් නැත්තට ම නැති වී ඇති ගානය. පරීක්ෂණ ගැන වචනයක්වත් එතුමා සිහිපත් කරන බවක් අසන්නට හෝ දැනගන්නට නොලැබේ. එය එසේ වී ඇත්තේ ඇයි ද යන්න තවත් බරපතළ ප‍්‍රශ්නයකි. 


අපේ රට වෙනුවෙන්, අපේ මිනිසුන් වෙනුවෙන් වගකියන්නට සැදී පැහැදී රට රටවලට ගොස් සිටින තානාපතිවරුන් මෙවැනි මහා බරපතළ සිද්ධීන් හමුවේ කටයුතු කරන්නේ මේ අයුරින් නම් අහිංසක, අසරණ මිනිසුන්ට කාගේ පිහිටක් ද යන්න ඇසිය යුතුම පැනයකි. 


පසුගිය දා මාධ්‍ය වලට පළ වූ ආකාරයට නන්දා මාලිනිය ප‍්‍රකාශ කර තිබුණේ මේ සියලූ ප‍්‍රශ්න මැද තමා එම ප‍්‍රසංගය සාර්ථකව නිම කර යළි මව්බිමට පැමිණිය බවය. රාජ්‍යතාන්ත‍්‍රික මට්ටමින් මේ පිළිබඳව කෙරෙන පරීක්ෂණ කෙසේ වුවද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෞද්ගලිකව දුරකථන ඇමතුක් ලබාදී ඇයගෙන් මේ පිළිබඳව විමසා සිටි බව පසුගිය දා ප‍්‍රධාන පෙළේ පුවත්පතකට ඇය ලබා දී තිබූ සම්මුඛ සාකච්ඡවක දී හෙළි කර තිබූ බව අපට දැකගන්නට ලැබුණි. 


එහි දී ජනාධිපතිතුමා ඇයට ලබාදී තිබූ පොරොන්දුව එම පුවත්පතේ ජනාධිපතිතුමාගේ වදන් වලින් සඳහන්ව තිබුණේ මෙසේය. 


"නන්දා අපි ඇත්තටම කණගාටු වෙනවා. මේ සිදුවීම ගැන, දැන්ම මා තානාපතිට කතා කරලා මේ පිළිබඳව ඉහළම පරීක්ෂණයක් පවත්වන්න කටයුතු යොදනවා" යනුවෙනි. 

එහිදී ම ඇය සඳහන් කර තිබුණේ ජනාධිපතිතුමා ඇරෙන්න රජයේ කිසිදු වගකිවයුතු කෙනෙක් ඇයගෙන් මේ ගැන විමසීමක් නොකළ බවය.  

ජනාධිපතිතුමාගේ පොරොන්දුව එසේය. එහෙත් තානාපතිතුමාගේ පරීක්ෂණ සඳහා කි‍්‍රයාත්මක වීමේ සූදානමක් කිසිසේත් ම දක්නට නැති බවක් මේ වන විට ද හොඳින් ම පසක් වේ.
මේ අතරතුර අපට දැනගන්නට ලැබෙන පරිදි ඉදිරි දින කිහිපයේ දී තවත් සංගීත ප‍්‍රසංගයක් කුවේටයේ දී පවත්වන්නට සැලසුම් ඇත.

ඒ සඳහා කුවේට් තානාපති කාර්යාලයේ සේවකයන්ගේ ද විශේෂ දායකත්වයක් ඇති බව ද එරට තුළ ඇති ප‍්‍රචාරක පෝස්ටර් මගින් හෙළිදරව් වන බව කිවයුතුය. ඒ නම් අපේ රටෙන් සහභාගි වන යොවුන් ගායකයන් දෙදෙනෙකු සමඟ තාතාපති කාර්යාලයේ සේවයේ නියුතු සේවකයෙකු ද ගී ගැයීමට එක්වන බව මේවායේ සඳහන් වීම තුළින් අපේ මුල් පැනයට ලබාගත හැකි පිළිතුරට සාක්ෂි එකතු වී ඇත් ද යන්න සොයා බැලීම සාධාරණය.

රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් ලෙස අපේ රටෙන් එරට ගොස් සිටින මෙවැන්නන් තම නිල වෘත්තිය අමතක කර දමා අමතර ආදායම් සොයන තැනක් බවට එරට පත්කර ගෙන ඇති බව මේ කරුණ මගින් පැහැදිලිය. මේ කරුණු ඔස්සේ සිතන කළ දැන් අපේ මුල් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකරනවා නම් ඒවා හැරවිය යුත්තේ වෙනත් මගකට ද යන්න සැලකිය යුතුය.

එය එසේ වන්නේ මේ ලැබී ඇත්තේ හොඳම ඉඟි බවට අප සිතන නිසාවෙනි. ඒ මේවා මිල මුදල් ලාභය පමණක් සොයා යන පුද්ගලික කෝන්තර බවට පත්කරගෙන අපේ රට හා රටේ වටිනා වස්තු පසෙකට දමා ඇත්ද යන්න වහ වහා සොයා බැලිය යුතුය.

මෙයින් නැගෙන අනෙක් ප‍්‍රශ්නය නම් තානාපතිතුමා ද තම සේවකයන් ගේ මෙවැනි කි‍්‍රයාවලට කිසිදු අවහිරයක්, බාධාවක් හෝ විමසා සිටීමක් හෝ සිදුකරන්නේ නැති ද යන්නයි. එසේ නොමැති නම් තානාපතිතුමා ද එක් එක් අයවලූන්ගේ  ඕනෑ එපාකම් වලට හිස නමමින් අපේ රටේ මෙවැනි අග‍්‍රගණ්‍ය කලාකරුවන් ගැන හෝ අපේ අහිසංක, අසරණ ජනතාව දෙස නොබලා සිටීමට උත්සාහ දරනවා වැනිය.

කෙසේ වුවද ජනාධිපතිතුමා ද නන්දා මාලිනියට පොරොන්දු වී ඇති පරිදි මේ පිළිබඳ නිසි පරීක්ෂණයක් කෙරෙන තුරු ජනතාව අවදියෙන් සිටින බව නම් කුවේට් තානාපතිතුමාට මතක් කර දිය යුතුමය. එසේම තානාපතිතුමා මෙරට ජනාධිපතිවරයාගේ නියෝගය ක‍්‍රියාත්මක කර මේ පැනයට කෙසේ පිළිතුරු සොයාවිද යන්න පිළිබඳව ද සියලූ දෙනා අවදියෙන් සිටිනු ඇත.   








Source: http://www.gossip9.com/2012/03/blog-post_12.html#ixzz1ouCn2UzG

Share this article with your friends