Chitika Smowtion 468x60


Monday, March 5, 2012

ඊලඟ නායකයත් රාජපක්ෂ කෙනෙක් - සුමනදාස අබේගුණවර්ධනගේ අනාවැකිය


  • ඊලඟ නායකයත් රාජපක්ෂ කෙනෙක්.
  • ඒත් මට ඒ තරම් ආයුෂ නෑ.
  • පරදින්න ගිය 2008 බජට් එකට දිනන්න නැකත හැදුවේ මම.
  • මේක මගේ අවසන් පුවත්පත් සාකච්ජාව වෙන්න පුළුවන්.
වර්තමානයේ ජනාධිපතිතුමාගේ ඡ්‍යොතිෂ කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ද, ස්වාධීන රූපවාහිනී සේවයෙහි උපදේශකවරයකු ලෙස ද, ගාල්ල දිසා සමූපකාර රෝහලෙහි අධ්‍යක්ෂවරයකු ලෙස ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරන්නේ ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු සුමනදාස තිලක් අබේගුණවර්ධන මහතායි.

1996 ඉන්දීය මහා මැතිවරණයෙන් කොන්ග්‍රස් පක්‍ෂය පරදින බවත්, මෙතෙක් බලයට නොපැමිණි භාරතීය ජනතා පක්‍ෂය රජයක් පිහිටුවන බවත්, එම පක්‍ෂයේ සභාපති ලාල් ක්‍රිෂ්ණ අද්වානි මහතාට අගමැති වෙන්නට වාසනාවක් නැති බවත්, එම පක්‍ෂයේ අතල් බිහාරි වජ්පායි මහතා අගමැති වෙන බවටත්, ඔහුගේ පාලන කාලය දින 14 කට සීමා වන බවත් අබේගුණවර්ධන මහතා අනාවැකි කී බවයි පැවසෙන්නේ. 

එම අනාවැකිය සාර්ථක වී වජ්පායි මහතා බලයට පත්වී දින 13 කින් ඉල්ලා අස්වුණ අතර එම අනාවැකිය ඉන්දියාවේ මෙන්ම විදේශ ජනමාධ්‍යවලත් ප්‍රචාරය වූ බැවින් ඉන්දියාවෙන් දක්‍ෂතම ඡ්‍යොතිෂවේදියාට පිදෙන “ඉන්දියන් එක්සලන්සි” සම්මානය ඔහුට පිරිනමා තිබෙන බවත් ඔහු පවසනවා.

ඇමෙරිකා මැතිවරණය වේලාවෙදි ජනාධිපති අපේක්‍ෂක බැරැක් ඔබාමාගේ උපන් වෙලාව අනුව ඔහු නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බවටද මුලින්ම අනාවැකි කියුවේ ඔහු විසින් බවත් පැවසෙනවා.

එමෙන්ම 2/3 ඉක්මවන මහා බලයක් සහිත පාර්ලිමේන්තු බලයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබෙන බවත්, කල කෝලාහල, ගැටුම්, ප්‍රශ්න, දකින්න නොලැබෙන, එකාවන්ව ජාතියක් හැටියට ලෝකය ඉදිරියේ බැබළෙන ලංකා ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදය ලියවෙන්න පටන්ගන්නා කාලයක් උදාවෙන බවත් පැවසුවේ ඔහු විසිනි.

තවද, ඉදිරියට දසරාජ ධර්මයෙන් රට පාලනය කරන කාලපරිච්ඡේදයක් දකින්න ලැබෙන බවත්, 2011 නොවැම්බර් 16 වැනිදායින් පසුව හම්බන්තොට වරාය ලංකාවට හොඳ ආදායම් මාර්ගයක් වන බවත්, පසුගිය වසරේ ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවට ලැබෙන බවත් ආදී වැරදුනු අනාවැකිද ඒ අතර වුණා.

ඔහු විසින් පල කරන අලුත්ම අනාවැකිය වන්නේ ලංකාවේ මී ලඟට බලයට පැමිණෙන රාජ්‍ය නායකයා රාජපක්ෂ කෙනෙක්ම බවයි.

සිදුහත් කුමරා ඒකාන්තයෙන් බුදුවන බව පවසා එතෙක් කලක් තමන්ට ආයුෂ නැතැයි පවසමින් හඬන්නට වූ කොණ්ඩඤ්ඤ බමුණා පරිද්දෙන් ඔහු දුක්වන්නේ එම නායකයා බලයට පැමිනෙනු දකින්නට තමාට ආයුෂ නැති බව පවසමින්.

මේ දිනවල ගෙවෙන්නේ ඔහුගේ අවසාන කාලය බවත්, ලංකාවේ ඉහලම වෛද්‍යවරු විසින් එය තීරණය කර තිබෙන බවත්, එබැවින් ඊලඟ රාජපක්ෂ නායකයාට නැකත් හැදීමේ පින්බර අවස්ථාවට පෙර තමා මියයන බවත්, මෙය ඔහුගේ අවසන් පුවත්පත් සාකච්ජාව වීමට හැකි බවත් පවසා ඇත්තේ මව්බිම පුවත්පත සමඟ පැවති සාකච්චාවකදී.

පවුලේ විස්තර මොනාද?
මගේ පියා දොන් සියදෝරිස්. මගේ ලොකු අයියා මිය ගියා. අක්කා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. බාල නංගි ඇමරිකාවේ ලොකු ව්‍යාපාරයක් කරනවා. අනිත් අක්කලා ගමේ. 1985 දි ලොකු දුව හංසිනීත් 1986 දිත් දෙවැන්නී සඳමාලිත් ලැබුණා. අද හංසිනී පියාගේ අඩි පාරේ යමින් ඉන්දියාවේ ඡ්‍යොතිෂය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබා කටයුතු කරනවා. සඳමාලි ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා.

ඒ කාලේ ආර්ථික තත්ත්වය කොහොමද?
ඉතා ඉහළයි. 1953 ජූනි මාසේ 28 වෙනිදා මං උපදිනකොට ගෙදර වාහන එකොළහක් තිබිලා තියනවා. අක්කර 500කට ආසන්න ප්‍රමාණයක් තිබිලා තියනවා.

අධ්‍යාපන සුදුසුකම් මොනවද?
උසස්පෙළ දක්වා ඉගනගන තියනවා. ඒ කාලේ මට ලබලා තිබුණේ රාහුගේ මහ දසාව. ඉතින් මට දිගටම අධ්‍යාපනය කරගන යන්න බැරි වුණා.

ඔබ ගාමිණී දිසානායක මහත්තයාගේ ජ්‍යොතිෂය කටයුතු වලට සම්බන්ධ වුනා නේද?
සමස්ථ දේශපාලකයන්ගෙන් 80%ක් පමණ සමඟ මට සම්බන්ධකම් තිබුණා. 94 මැතිවරණය කාලේ මම හිටියේ රට. ලේක් හවුස් එකටත් මම ලියලා එව්වා මැතිවරණය එනකම් එතුමා ජීවත් වෙන්නේ නෑ කියලා. ඒ අනාවැකිය හරි ගියා. නමුත් ලේක් හවුස් එකේ ලිපිය පළ වුණේ නෑ.

ඔබ ලලිත් ඇතුලත්මුදලිගේ කේන්දරයත් බැලුවා නේද?
එතුමා 1936 නොවැම්බර් මාසේ සිංහ ලග්නයෙන් ඉපදිලා තියෙන්නේ. එතුමාට මං කිව්වා ඔබතුමා මේ රටේ මහා බුද්ධිමතෙක් කියලා. ඔහු නිතරම මගෙන් ඇහුවා ප්‍රේමදාස මහත්තයගේ කේන්දරේ ගැනත්. ගාමිණී දිසානායක මහත්තයගේ කේන්දරේ ගැනත්. මම ඔහුට කිව්වා තමුන්නාන්සෙත් පරෙස්සම් වෙලා ඉන්න කියලා. හැම දේශපාලකයාම් වාගේ ඔහුත් මට කිව්වේ ජ්‍යොතිෂය වගේ දේවල් පෞද්ගලිකව තියාගන්න කියලා.

ප්‍රේමදාස මහත්තයගේ කේන්දරේ මොනවද තිබුණේ?
1993 මාර්තු 5ත් 1996 පෙබරවාරි 16ත් අතර එතුමා මියයන බවත් මං දැනන් හිටියා.

1994 චන්ද්‍රිකා මැතිණිය දිනුවට පස්සේ ඇතිවන කාලපරිච්චේදයේ ඔබ කොහොමද ඒ දේවල් වලට සම්බන්ධ වුනේ?
පත්තරවල අනාවැකි කිව්වට මං ඒ කාලේ රටේ හිටියේ නැහැ. ඒ කාලේ කිසි කෙනෙක් ලඟින් ඇසුරු කරන්න ගියේ නෑ. මගේ ලඟට ආපු කෙනෙකුගේ බැලුවා.

ඔබතුමා 2005 රනිල් වික්‍රමසිංහ දිනනවා කියලා කිව්වා. ඒක වැරදුනා නේද?
මං කිව්වේ නෑ 2005දී. 2001 දී කිව්වා. 2001 දෙසැම්බර් 5 වෙනිදා මැතිවරණයකින් රනිල් වික්‍රමසිංහ අගමැති වුණා.

මම තව කතාවක් කිව්වා. පක්ෂය වෙනස් කළොත් එස්.බී ට ඇමතිකමක් ලැබෙනවා කියලා. ඒ සිද්ධිය මං කාලයක් තිස්සේ මහින්දට කිව්ව. "සර් මේ මැතිවරණයෙන් ඔබතුමාගේ ආණ්ඩුව පරදිනවා" කියලා. ඔහු මට කිව්වේ මං පරාද වුනත් කමක් නෑ ජ්‍යොතිෂය කියන්නේ ගෞරවනීය සම්ප්‍රදායක්, ඒ නිසා ඇත්ත කියලාඒ ගෞරවය ඉදිරියට ගෙනියන්න කියලා.

2005දී රනිල් දිනනවා කියලා එක්තරා රාජ්‍ය මාධයකට ඇවිත් ඔබ කිව්වා නේද මහින්ද දිනන්නේ කියලා?
ජාතික රූපවාහිණියේ පද්මසිරි ගුණවර්ධන කියන කෙනෙක් එක්ක තමයි මම කිව්වේ මහින්ද දිනනවා කියලා. ගාල්ල ප්‍රරදේශයේ ඉන්න එක්තරා දේශපාලඥයෙක් ඉරුදින පත්තරේ යොදගන ගෙතුව අමූලික බොරුවක් ඒක.

මහින්ද රාජපක්ෂ මහත්තයගේ කේන්දරේ ඔබ දැක්ක විශේෂතා මොනවද?
එතුමාට තියනවා බලගතුම යෝගයක් චන්ද්‍රාධි කියලා. චන්ද්‍රයාගෙන් 6,7,8 ගුරු, සිකුරු, බුධ ඉන්නවා. ඒක තමයි බලගතුම යෝගය. ඔහුට තියෙන්නේ බලගතුම කේන්දරයක්.

යුද්ධය වෙලාවේ කේන්දර බැලුවද?
මට බොහෝම විශ්වාසයෙන් කියන්න පුළුවන් යුද කටයුතුවලදී කේන්දරේ බැලුවේ නෑ.

සරත් ෆොන්සේකා මහත්තයගේ කේන්දරේ බලලා තියනවද?
මං බලලා තියනවා. එතුමාගේ අඟහරු ග්‍රහයාඋච්චව ඉන්නේ. ඒක බලගතුයි. ඒ නිසා තමයි ආරක්ෂක අංශයේ ප්‍රධානියා වෙන්නේ. ඒ නිසා රාජ්‍ය නායකත්වයට පත්වෙයිද කියන එක නම් මට පෙන්නුම් කරන්නේ නෑ.

එතුමාගේ දැනට තියන තත්ත්වයට හේතුව?
එතුමා ජනාධිපති ජන්දයක අපේක්ෂකයෙක්. එතුමා හිරේ යන්න කලින් මං කිව්වා එතුමාට ජන්දයෙන් දිනන්න බෑ. පරාජය වෙලා හිර අඩස්සියෙත් ඉන්න සිද්ධ වෙනවා කියලා. මං මාධ්‍ය කීපයකින් ඒ බව ප්‍රකාශ කරලා තියනවා.

එතුමාගේ මේ නරක කාලය ඉවර වෙනෙන කවදාද කියලා කියන්න පුළුවන්ද?
ඇත්ත කියන්න එපැයි. තව ටික කාලයක් යනවා.

ජන්ද වලට නැකත් හදන්නේ කොහොමද?
රටේ නිල නොවන දෛවඥයා විදිහට ඔය ටික හැමදාම කෙරෙනවා. ඔබතුමා දිගින් දිගටම අහන නිසා මම එකක් කියන්නම්. 2008 අපේ රටේ තිබුණා භයානකම බජට් එකක් ඒක තමයි මගේ ජීවිතේ හදපු භයානකම නැකත. ජනාධිපතිතුමාට ඕන විදිහට හැදුවා. විරුද්ධ පක්ෂයේ ජ්‍යොතීර්වේදීන් කිව්වා පක්ෂය මැරිච්ච වෙලාවක තමයි බජට් එක කරලා තියෙන්නේ කියලා. මං කිව්වා මට සීයට ලක්ෂයක් විශ්වාසයි බජට් එක මේ රජය දිනනවා.

ඔබතුමා ජන්ද වලට නැකත් හදන්නේ කොහොමද?
මං වැඩක් කරනවා නම් ජනාධිපතිතුමාගේ කේන්දරේට තමයි හදන්නේ.

පසුගිය දෙසැම්බර් 31 රාත්‍රියේ ඉන්දියාවේ රාජ් ටී.වී නාලිකාවේ ගිය ජ්‍යොතිෂ අනාවැකිය ගැන මොකද හිතෙන්නේ?
එල්.ටී.ටී එකේ හොල්මන් තාම තියනවා. ඒක ඩයස්පෝරාවේ උපක්‍රමයක් විතරයි.

ඊලඟ අනාගත නායකයා විදිහට ඔබතුමාට පෙනෙන්නේ කවුද?
එතනදී මට ටිකක් කනගාටුවක් ඇතිවෙනවා. මම රාජපක්ෂ නායකයන්ට නැකත් හැදුවා. තවත් නායකයෝ විදිහට කිහිප දෙනෙක් මේ රටේ රාජ්‍ය නායකයෝ විදිහට බිහි වෙන්න ඕන. ඒ නායකයන්ට නැකත් හදන්න මට වෙලාවක් නෑ. මට එච්චර කල් ජීවත් වෙන්න බෑ. ප්‍රභාකරන් මියයනවා කිව්ව මම, මේජර් ජෙනරාල් ජානක පෙරේරා මියයනවා කිව්ව මම මගේ ආයුෂ කාලය කොච්චරද කියලත් දන්නවා.මගේ ආයුෂ කාලය බොහොම කෙටියි.

ඒක ලංකාවේ ඉහලම වෛද්‍යවරුන් තීරණය කරලලා තියනවා. තවත් රාජපක්ෂ කෙනෙකුට නැකත් හදන්න පින්බර අවස්ථාවට මට සහභාගීවීමට නොලැබීම ගැන දුකයි.

මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් පස්සේ ඊලඟ නායකයා වෙන්නේ කවුද කියලා අද ඔබට අනාවැකියක් කියන්න පුළුවන්ද?
තවත් රාජපක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. මට ඒක කියන්න පුළුවන්. ඒත් මම ඒක රහසක් විදිහට තියාගන්නවා.

සාහිත්‍ය කලාව සම්බන්ධයෙන් තියන උනන්දුව කොහොමද?
ගාමිණී ෆිල්ම් එකට නැකත් හැදුවේ මම.

කැමතිම පොත මොකක්ද?
"ද ඇස්ට්‍රලොජි" කියලා ඉන්දියාවේ පොතක් තියනවා. කර්තෘ තමයි ගෝපාල්දාස්

ඔබතුමා කවුද?
රුහුණෙන් බිහිවුන ලංකාවට ආදරය කරන කෙනෙක්. අපි බිහිවෙන්න කලින් ලෝකේ මිනිස්සු හිතාගන හිටියේ කේන්දර බලන්න යන්න ඕනේ හොඳම රට ඉන්දියාව කියලා. බැරක් ඔබාමලා, අතල් බිහාරි වප්පායි ලා එක්ක එකතුවෙලා අපි ලෝකෙට පොඩි සෙලවීමක් කළා.

මොනවද අනාගත බලාපොරොත්තු?
මගේ කාලය ක්‍රමයෙන් අවසන් වේගන යන්නේ. මට හිතෙන්නේ මගේ අවසන් පුවත්පත් සාකච්ජාව මෙය වෙන්න පුළුවන්. වෛද්‍යවරුන් ඒක කියන්නේ. ජ්‍යොතිෂයට අනුව ප්‍රභාකරන් මියයන බව කිව්ව මම, මං මිය යන බව අනිවාර්යෙන්ම කියන්නම වෙනවා.

මං මේ රටේ ජනතාවට ජ්‍යොතිෂය මඟින් විශාල සේවාක් කළා. ඒ සේවාව කරන්න මං වගේ තව දහ දෙනෙක් බිහි කරන්න පාසලක් දානවා. ඒකට මිලියන 30, 40ක් විතර යනවා. මගේ හිතවතුන් ඒ කාර්යයට මට උදව් කරනවා. ඒ සත්කාරයට දායක වෙන්න කියලත් මගේ හිතවතුන්ගෙනුත් මම ඉල්ලනවා.

මෙම සම්පූර්ණ සාකච්ජාව සහිත ලිපිය හා සුමනදාස තිලක් අබේගුණවර්ධන මහතාගේ තවත් ලිපි කීපයක් මෙතනින්.







Source: http://www.gossip9.com/2012/03/blog-post_7551.html#ixzz1oEQaJbK0

Share this article with your friends