Chitika Smowtion 468x60


Tuesday, May 1, 2012

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මැයි දින පණිවුඩය


මහාමාන්‍ය ඩී එස් සේනානායක මහතා එක්සත් ජාතික පක්‍ෂය ආරම්භ කරන ලද්දේ සියළු ජාතීන් අතර, එක්සත් භාවය හා එකමුතුව සුරක්‍ෂිත කරලමින් දේශයට සෞභාග්‍ය උදාකරලීමේ අරමුණෙනි.
සෑම ජන කොටසක්ම නියෝජනය කරන හා සෑම ජන කොටසකටම එකසේ අවස්ථාවන් ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම දේශපාලන පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂයයි. අප මෙවර මැයි දිනය යාපනයේ සැමරීමට තීරණය කළේ මහාමාන්‍ය ඩී එස් සේනානායකයන්ගේ ඒ උදාර අරමුණ තව දුරටත් තහවුරු කරලීම උදෙසාය.
සාම්ප්‍රදායික ලෙස ප්‍රධාන දේශපාලන පක්‍ෂයන්හි මැයි දින උත්සව සීමා වී තිබුණේ කොළඹ නගරයට පමණි. නමුත් අප කොළඹින් බැහැරව මැයි දින පැවැත්වීමේ නව සම්ප්‍රදායක් ඇරඹූයේ නගරයෙන් බැහැර දුෂ්කර ප්‍රදේශයන්හි වෙසෙන විවිධ ජන වර්ගයන්ටත්, ගම් මට්ටමේ හා බිම් මට්ටමේ ජනතාවටත් මැයි දින උත්සවයන් සමග සම්බන්ධ වීමේ අවකාශ සලසා දීම සඳහාය. ඒ අනුව අවිස්සාවේල්ල, මහනුවර, හැටන්, නුවරඑළිය, ගාල්ල, බණ්ඩාරවෙල ආදී නගරයන්හිදී අපි මැයි දින උත්සව සංවිධානය කළෙමු. මෙවර යාපනයේ මැයි දින උත්සවය සංවිධානය කෙරෙන්නේද ඒ නව සම්ප්‍රදාය අනුවමය.
වසර ගණනාවක් තිස්සේ කුරිරු යුද්ධය නිසා පීඩාවට පත් උතුරේ ජනතාවට දකුණේ ජනතාවගේ මිත්‍රත්වයේ හස්තය දිගු කරලීමේ අවස්ථාවක් ලෙසද, සියළු ජාතීන් අතර එකමුතුව තහවුරු කරලීමේ සංකේතයක් ලෙසද මෙම මැයි දිනය සැලකිය හැකිය.
අද මුළු රටේම ජනතාව ජීවන බරින් පීඩා විදිති. ජීවත් වීමට සරිලන වැටුපක් වැඩ කරන ජනතාවට ලැබෙන්නේ නැත. ආර්ථිකය කඩා වැටී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය හා මූලික මිනිස් අයිතිවාසිකම් විනාශයට ඇද දමා අවසානය. යුද්ධයෙන් අවතැන් වූ ජනතාවගේ ජන ජීවිතය යථා තත්වයට පත් කරලීම සඳහා කිසිදු ධනාත්මක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නැත. ජාතීන් අතර සමගිය ශක්තිමත් කරනු වෙනුවට වෛරය පතුරවමින් තම තමන්ගේ දේශපාලන අධිකාරීන් ආරක්‍ෂා කර ගැනීමට පාලකයෝ ක්‍රියා කරති.
එක මවකගේ දරු කැලක් ලෙස එක්සත්ව, ශ්‍රී ලාංකේය අනන්‍යතාවය සුරකිමින්, මේ සකලවිධ අසාධාරණයන්ට එරෙහිව සටන් වදින්නට මෙවර මැයි දිනයේදී අදිටන් කර ගනිමු.


Share this article with your friends