Chitika Smowtion 468x60


Tuesday, May 1, 2012

ෆොන්සේකා තවදුරටත් හිර කරයි


දෙවන යුද අධිකරණය විසින් හිටපු යුද හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට ලබාදී තිබූ මාස 30 සිර දඬුවම බන්ධනාගාර නීතිරීතීන්ට අනුව පසුගිය 26 වනදා අවසන් වුවද, එය ප‍්‍රතික්‍ෂේප කර ඇති නාගරික සංවර්ධන හා ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්වරයා, ෆොන්සේකා මහතාට එම චෝදනා යටතේ නියම කළ දඬුවම අවසන් වන්නේ ලබන වසරේ මාර්තු මාසයේදී බව නීතිපති දෙපාර්තමේන්තුව හරහා බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.
බන්ධනාගාර නීතිරීතීන්වලට අනුව, ඕනෑම සිරකරුවකුගේ සිර දඬුවම් කාලය තීරණය කිරීමේදී ඉරුදින, පොහෝදින. නිදහස් දින ආදී වශයෙන් වූ දිනයන් ‘‘සමා කාලයන්’’ ලෙස සලකා වසරක සිර දඬුවම් කාලයක් මාස 08යි, දින 10ක් ලෙස ගණනය කරනු ලබයි. ඒ අනුව, ෆොන්සේකා මහතාට දෙවන යුද අධිකරණය විසින් පැන වූ වසර දෙකහමාරක සිර දඬුවම අපේ‍්‍රල් 26 වනදායින් අවසන් විය.
එහෙත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නියමය මත නීතිපති දෙපාර්තමේන්තුව බන්ධනාගාර ප‍්‍රධානියාට දැනුම් දී ඇත්තේ ෆොන්සේකා මහතා සිරගත කොට ඇත්තේ යුද නීතිය යටතේ හෙයින් සිවිල් අධිකරණයකින් ලැබෙන ‘සමා කාලයන්’ ඔහුට අදාළ නොවන බවයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ, මෙතෙක් යුද හමුදා අධිකරණයෙන් ලබා දුන් නියෝග මත බන්ධනාගාරය තුළ රඳවා සිටි හමුදා සිරකරුවන්ගේ සිර කාලය නිර්ණය කිරීමේදී සාමාන්‍ය බන්ධනාගාර නීතිරීතීන්ට අදාළව සමා කාලයන් අඩු කොට සිරදඬුවම් කාලය තීරණය කරනු ලැබූ බවයි. එහෙත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් අනුගමනය කිරීමට යන විශේස විධිවිධාන බන්ධනාගාර ප‍්‍රධානීන්ට ගැටලූ සහගත වී ඇති බව හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත්, ෆොන්සේකා මහතාගේ සිර දඩුවම අත්තනෝමතික ආකාරයෙන් තව දුරටත් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා සහ නාගරික සංවර්ධන හා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා දරන උත්සාහය පරාජය කිරීම සඳහා වහාම අධිකරණය වෙත යෑමට ජෙනරාල්වරයාගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය තීරණය කර තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends