වත්මන් අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියද තවත් වසර 09කට වැඩි කාලයක් එම තනතුරේ රැඳී සිටීමේ ව්‍යවස්ථානුකූල අයිතිය හිමිව ඇති බැවින්, ඇයගේ බලය බෙලහීන කිරීම සඳහා ජනාධිපතිවරයා මේ වන විට සැලසුම්සහගත කුමන්ත‍්‍රණයක යෙදී සිටින බව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය. මීට පෙර අගවිනිසුරු ධූරයේ වසර 11කට වැඩි කාලයක් කටයුතු කළ සරත් නන්ද සිල්වා මහතා ඔහු විශ‍්‍රාම යාමට අවසන් මාස කිහිපය දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය තුළ තමන්ගේ ආධිපත්‍යය රැකගෙන සිටි නමුත්, වත්මන් අගවිනිසුරුවරියට එරෙහිව වසරක් යාමටත් පෙර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගෙන් අභියෝගයක් එල්ල වී ඇතැයි ද ඔහු සඳහන් කළේය. එවැනි පැහැදිලි බෙදීමක් ඇති කිරීමට ජනාධිපතිවරයා පෞද්ගලිකව මැදිහත් වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ජනාධිපතිවරයා විසින් අගවිනිසුරුවරියගේ සැමියා වන, ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ සභාපති ප‍්‍රදීප් කාරියවසම් මහතා ‘ද ෆිනෑන්ස් සමාගමේ’ කොටස් මිලදී ගැනීමේ සිද්ධියට පටලවනු ලැබුවේ එම තීරණාත්මක සාකච්ඡාවෙන් සති කිහිපයකට පසුය. එම ආන්දෝලනාත්මක සිද්ධියෙන් පසු අගවිනිසුරුවරියටද දැඩි බලපෑමක් එල්ල වූ අතර ඇය තවදුරටත් එම තනතුර දැරීමට සුදුසු නොවන බවට විනිසුරුවරුවන් කිහිප දෙනෙකුම ප‍්‍රසිද්ධියේම පවසා තිබිණ.
අගවිනිසුරුවරිය සීමාව ඉක්මවා කටයුතු කළ හොත් ඇයට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙන එන බව ජනාධිපතිවරයා පසුගියදා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සමග අවධාරණය කර තිබේ.
Source - lankanewsweb.com