Chitika Smowtion 468x60


Thursday, June 14, 2012

පහලගම ළමා නිවාසය ගැන ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක්


ළමා ලිංගික අපරාධවලට වැරදිකරු වූ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර වැඩ වාසය කල ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට පසුගිය සතියේ වසර හතක සිරදඬුවම් නියම වීමත් සමඟම එහිමියන් විසින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන ළමා නිවාස පිළිබඳව ද අවධානය පළ වී තිබේ.
සිරදඬුවම් නියම වූ පහලගම ශ්‍රී සෝමරතන නායක ස්වාමීන් වහන්සේ විසින් සිය ගම් පළාතේ පවත්වාගෙන යන ළමා නිවාසය තවදුරටත් ඔහු යටතේ පවත්වාගෙන යාම ශ්‍රී ලංකා නීතිය යටතේ වැරැද්දක් බව පෙන්වා දෙමින් ජාතික ළමාරක්ෂක අධිකාරියේ පොලිස් විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති WTD විජේසේන ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක වෙත පැමිණිල්ලක් යොමු කිරීමත් සමගයි, මෙම ළමා නිවාස පිළිබඳව අවධානය පළ වී තිබෙන්නේ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ගන්නා පියවර කවරේදැයි විමසීම සඳහා ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය ඇමතීමට බීබීසී සංදේශය කිහිප වතාවක්ම උත්සාහ දරුවත් එය සාර්ථක වූයේ නැහැ.
එබැවින් මෙවැනි පැමිණිල්ලක් ඉදිරිපත් වූ විට සාමාන්‍යයෙන් ගත හැකි පියවර කවරේදැයි සංදේශය ළමාරක්ෂක අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වාගෙන් විමසීමක් කළේය.
2010 මැයි 07 වැනි දින ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පහලගම ශ්‍රී සෝමරතන නායක හිමි පදනම පිහිටුවීමේ පණත මගිනුයි, ළමා අපචාරවලට වැරදිකරු වූ හිමියන්ට එම ළමා නිවාසය පිහිටුවීමේ බලය පවරා දී තිබෙන්නේ. එම පණත ඉදරිපත් කිරීම සම්බන්ධයෙන් විමසීම සඳහා විජිත හේරත් මන්ත්‍රීවරයා ඇමතීමට අප උත්සාහයද සාර්ථක වූයේ නැහැ.
'අධීක්ෂණය අත්‍යවශ්‍යයි'
ගතව ගිය දශකයකට ආසන්න කාලයක් ඇතුලත ළමාරක්ෂක බලධාරීන් විසින් ශ්‍රී ලංකාවේදී ළමා අපයෝජන චෝදනා මත 110 කට වැඩි බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිසක් අත් අඩංගුවට ගෙන තිබෙන අතර, අඩුම තරමින් එයින් තිදෙනෙකුවත් එම චෝදනාවලට වැරදිකරුවන් බවයි, අධිකරණයේ නිගමනය වූයේ.
සාමනේර හිමියන්ට සැර කොට අමානුෂික අන්දමින් පහරදීමේ චෝදනා මෙන්ම සාමනේර හිමියන්ට ලිංගික අතවර කිරීමේ චෝදනාද ඒ බොහෝ භික්ෂූන් වහන්සේට එරෙහිව එල්ලවී තිබිණ.
ඒ අතරම කතෝලික සහ ප්‍රොතෙස්තන්ත පූජකවරුන් 20 කට ආසන්න පිරිසක්ද ගතව ගිය දශකය ඇතුලත ළමා ලිංගික අපචාර චෝදනා මත අත් අඩංගුවට පත්වී තිබේ.
විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේ සහ කතෝලික පූජකවරුන් ඇති බහුතරය දහම් පාසල් සහ ඉරිදා පාසල් පවත්වන, රටේ අනාගත දරු පරපුර සමග සමීපව හැසිරෙන පිරිසක් බැවින් ඔවුන්ගෙන් මෙතරම් විශාල පිරිසකට ළමා අපචාර චෝදනා එල්ලවී තිබෙන තත්වයක් තුල එවැනි ආයතන අධීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය බවයි, මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා පෙන්වා දෙන්නේ.
- BBC Sandeshaya

Share this article with your friends