Chitika Smowtion 468x60


Thursday, June 14, 2012

ආණ්ඩුවට එක්වී ගමනක් නැති බව සියයට දාහක් විශ්වාස යැයි ෆොන්සේකා කියයි


සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී කණ්ඩායම ඇතුළු කණ්ඩායම රජයට ගැනීම ගැන සාකච්ඡා පැවැත්වෙන බවට පසුගිය 6 වෙනිදා සිට පැතිර යන ආරංචි වලට පිළිතුරු දෙමින් 'ආණ්ඩුවත් එක්ක එකතු වී තමාගේ ගමන යා නොහැකි බව සියයට 
දාහක් විශ්වාස' යැයි සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඒ පිළිබඳ ඔහු වැඩි දුරටත් මෙසේ කීය.

"මම රටට ආදරේ දේශපාලනඥයන් එකතු කරගෙන මේ ගමන ඉදිරියට යනවා. රටට ආදරේ ජනතාව මාත් එක්ක ඉන්න බව මං දන්නවා. ඒ ජනතාව ඉන්නකම් මට විශ්වාසයක් තියෙනව මේ ගමන සාර්ථක වෙයි කියල. නොයෙක් අය නොයෙක් කතා පතුරුවනවා මම රජයට එකතු වෙයි රජයෙන් වරප්‍රසාද ලබන්න හදනවා කියල. ඒ කටකතා පතුරුවන්නෙ මේ රජයේ ඉන්න මගේ ගමන බාල කරන්න හදන උදවියමයි. ඒත් නැතිනම් විරුද්ධ පක්ෂයේ ඉන්න සමහර දේශපාලනඥයොත් එවැනි කට කතා පතුරුවනවා. නමුත් මට වරප්‍රසාද අවශ්‍ය නැති නිසයි මම ඒ කට්ටියගෙන් අයින් වෙලා ඉන්නෙ. නැවත ඒ කට්ටිය එක්ක එකතු වෙලා මම යන ගමන යන්න බැහැ කියන එක මට සියයට 
දාහක් විශ්වාසයි."

පොදු විපක්ෂයක් ගැන කතා කරන සරත් ෆොන්සේකා මහතා තමා එජාපය සමග හෝ ජවිපෙ සමග හෝ එක්වන්නේ නැති බව මීට පෙර කී අතර එම පක්ෂවලට තමන්ගේ පක්ෂය හා එක්විය හැකි යැයි පවසා තිබිණ. ඒ පිලිබඳවද තම අදහස කී ෆොන්සේකා මහතා පැවසුවේ එම පක්ෂවල සාමාජිකයන්ට ඔවුන්ගේ පක්ෂයේ නමවත් නායකයන්වත් වැඩක් නැති බවයි. ඔවුන්ට තමන් හා රට අගාධයෙන් ගොඩ ගන්න එක්වන්නැයි ෆොන්සේකා මහතා පැවසීය. එජාපය යනු නායකයාවත් මන්ත්‍රීලා ටික දෙනාවත් පමණක් නොවන බව කී ෆොන්සේකා මෙසේද පැවසීය.

"මම හැම වෙලාවෙම කතා කලේ පොදු විරුද්ධ පක්ෂයක් එක්සත් වෙලා එකට යමු කියල. එක්සත් ජාතික පක්ෂයේ අයට තේරුම් ගියානම් මම මේ කියපු අවශ්‍යතාවය රට වැටිල තියෙන අගාධයෙන් ගොඩ ගන්න ඕනෙ කියන එක. එහෙමනම් අපට එකතු වෙලා ඉදිරියට යන්න බැරි වෙන්න හේතුවක් නෑ. එතකොට පක්ෂය මොකක්ද? නායකයො කව්ද? කියන එක පටලවා ගත යුතු ප්‍රශ්ණයක් නොවෙයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඒ පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු ටික දෙනා හරි නායකයා හරි නොවෙයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ලක්ෂ ගණන් වූ ඒ පාක්ෂිකයෝ. ඒ අය එක පාරකුත් ලක්ෂ ගණනින් මා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළානෙ. මට විශ්වාසයක් තියෙනවා ඉදිරියටත් ඒ කට්ටිය මාත් එක්ක ඉඳියි කියල. මං කියන්නෙ මුළු විපක්ෂයම එකතු වෙන්න ඕනෙ ඉස්සෙල්ලාම. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පක්ෂ වල නම් පක්ෂ වල ලකුණ නොවේ අද මේ රටේ ජනතාව උනන්දු වෙන්නෙ. මේ ජනතාවට අවශ්‍ය වෙන්නෙ මේ වැටිල ඉන්න අගාධයෙන් ගොඩ එන්න ක්‍රමයක්."

සරත් ෆොන්සේකා මහතා ඉහත ප්‍රකාශ කෙළේ ඊයේ මිහින්තලයේදී වන අතර එය වාර්තා කළ කිලී-ටිරාන්ලාගේ මාධ්‍ය ෆොන්සේකා මහතා ආණ්ඩුව සමග එක්වන්නේ නැතැයි යන කොටස වාර්තා නොකිරීම විශේෂත්වයකි. සරත් ෆොන්සේකාගේ නිදහසේ ඉතිරි කොටස ලබා ගැනීම සඳහා ආණ්ඩුව සමග සාකච්ඡා පවත්වන්නේ ටිරාන් මන්ත්‍රීවරයා ය.

Share this article with your friends