Chitika Smowtion 468x60


Thursday, June 14, 2012

පොඩි සුළඟකින් පවා වහල සරුංගල් වීම සහ කාලගුණයේ අනාගත් වැකි


ඊයේ සහ පෙරේදා ශ්‍රී ලංකාව හරහා ගිය තද සුළං හේතුවෙන් බොහෝ විනාශ සිදුව තිබේ. ඊයේ හැමූ සුළඟ ටොනෑඩෝවක් බවද ඇසින් දුටුවෝ පවසති. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කර ඇති වාර්තා අනුව;-

මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල, තිහගොඩ, මාතර, දෙවිනුවර හක්මන, ප්‍රදේශයන්හිද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල, අම්බලන්තොට ප්‍රදේශයන්හිද, ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශයට ද, පුත්තලම දිස්ත්‍රික්කයේ මුන්නාලම ප්‍රදේශයේද පවුල් 162 ක 750ක් වූ ජනතාවකට හානි සිදුව ඇත. සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස සංඛ්‍යාව 15 කි. අර්ධ වශයෙන් විනාශ වූ නිවාස 200 ක් පමණ වේ.

හැමූ සුළෙඟ් වේගය ගැන ලංකාවේ කිසිවෙක් නොකියයි. කාලගුණ දෙපාර්තමේන්තුව එතරම් හොඳය. ලංකාව දූපතක් වූයේ අදක ඊයේක සිට නොවේ. දූපත් වලට සුළං හැමුවේද අදක ඊයේක සිට නොවේ. නමුත් අප තවමත් ඒ ගැන අවබෝධයක නැත. ප්‍රධාන වශයෙන්ම සුළඟ ගැන හරි හමන් අනාවැකියක් කියාගත නොහැක. කීවොත් කියන්නේ අනාගත් වැකියකි. එනිසාම පසුගියදා මුහුදු ගිය ධීවරයෝ 8 ක් අතුරුදහන් වූහ.

අනෙක් ප්‍රධාන ප්‍රශ්නය නම් නිවාස ඉදිකිරීමේදී සුළඟ සාධකයක් ලෙස නොසලකා නිවාස ගොඩනැගීමේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමයි. කුඩා සුලඟකින් පවා වහල සරුංගල් වන්නේ එබැවිනි. මෙම ලියුම්කරු කළ විමර්ෂනය අනුව 12 දා දකුණට හැමූ සුළඟ නොට් 40 ට අඩුය. නොට් 45 ක පමණ නිරන්තර සුළං ඇතිවන දූපතක් ද වූ බි්‍රතාන්‍යයේ එවැනි වේගයකදී නිවාස වහල ගලවා යෑමක් සිදු නොවේ. ඇමැරිකාවේද එසේමය. නිවැරදි නිවාස ගොඩනැගීමේ ප්‍රතිපත්තියකින් නිවාස ඉදිකරන්නේ නම් නිවාස වහල ගලවා යෑමක් ඒ මට්ටමේ දී සිදුවිය නොහැක. ලංකාවේ නිවාස අමාත්‍යාංශය මගින් එවැනි ජාතික ප්‍රතිපත්ති සම්පාදනයක් සිදුකර නැත. ප්‍රතිපත්තියක් තිබුනාට ද මදිය. එම ප්‍රතිපත්තිය මත නිවාස ඉදිවන බවට පරීක්ෂාවක්ද තිබිය යුතුය. උදාහරණයක් ලෙස ඇමරිකාවේ වහලයක ජොයින්ට් වලට ඇණ ගැසීමේ ක්‍රමයක් තිබේ. ඇණයකට නියමිත විශාලත්වයක් ද ඇත. එසේ ඇණ ගසා ඇතිදැයි වහලය සෙවිලි කිරීමට පෙර පරීක්ෂකයෙකුට පෙන්වා අනුමැතිය ගත යුතුය. පරීක්ෂකයා පැමිණ අහඹු ලෙස ඇණ ගලවා බැලීමක්ද සිදුකරයි. උළු සෙවිලි කිරීමෙන් පසු උළු බැඳීමක් සිදුකරයි. එමනිසා උළු සරුංගල් වන්නේ නැත. ඒවාද පරීක්ෂා කර අනුමැතිය ලබා ගත යුතුය. යම් ආපදාවක් සිදුවුවහොත් අනුමැතිය දුන් පරීක‍ෂකයා වන්දිගෙවිය යුතුය. නිවාස ඇමැති වීරවංශලා පුහු අධිරාජ්‍ය විරෝධයෙන් මිදී දියුණු රටවල් භාවිත කරන ක්‍රම වේදයන් මොනවාදැයි අධ්‍යයනය කර තම රටට ඒවා උකහා ගත යුතුය. තම ජනතාව ආරක්ෂාකර ගත යුතුය.

ශ්‍රී ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුව සුළං ගැන කියන අනාවැකි ගැන විශ්වාස කළ නොහැක. හොඳම උදාහරණය නම් අද පැයට සැතපුම් 70 ක වේගයෙන් සුළං හමන බව කීවද එවැනි සුළඟක් නොපැමිණීමයි. සුළං ගැන අනාවැකි පවසන වෙබ් අඩවියක් වන windfinder.com වෙබ් අඩවිය පවසා තිබුනේ අද ලංකාවේ නිරිත දිග උපරිම සුළඟ නොට් 13 ක් වන බවයි. ශ්‍රී ලංකාවේ ජනතාව කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් අන්තර්ජාල සේවා වලින් ලැඛෙන උපදෙස් ගැන සැලකිලිමත් වීම ඇඟට ගුණ ය.

-චිත්‍රානි-

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends