Chitika Smowtion 468x60


Thursday, June 14, 2012

භික්ෂූන්ට පාර්ලිමේන්තු ප්‍රා.සභා ආදිය එපා: නින්දා අපහාස නොලැබිය යුතුයි: අස්ගිරි මහනායක හිමියෝ වදාරති


ආගම විකුණා දේශපාලනයේ යෙදෙන පක්ෂ අනාථයි: රතන ඉල්ලා අස්වේද?

ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සියළු පූජ්‍ය පක්ෂයට පාර්ලිමේන්තුව අකැප කළ යුතු යැයි පුද්ගල පනතක් ගෙන ඒම ආගම විකුණා දේශපාලනය කරන පක්ෂ වල දැඩි විවේචනයට ලක්වෙද්දී බෞද්ධ සමාජයේ මුදුන් මල් කඩක් වන් අස්ගිරි මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමියෝ ඒ පිළිබඳ සිය මතය ඊයේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ.

භික්ෂුව පාර්ලිමේන්තුවට නොයෑ යුතු යැයිද දේශපාලන තනතුරුවලට ගොස් නින්දා අපහාස නොලැබිය යුතු යැයිද උන් වහන්සේ වදාළහ. උන් වහන්සේ මෙසේ වදාලද්දී මන්ත්‍රී භික්ෂූන් පිරිසකගේ සහාය සහිතව ආණ්ඩු පිහිටුවාගෙන සිටින 
ජනාධිපතිවරයාද ලඟ සිටීම විශේෂත්වයක් විය.

මහනායක හිමියෝ වැඩිදුරටත් මෙසේ වදාලහ.

"අප නිතරම හිතන්න ඕනේ භික්ෂුවක් හැටියට අපෙන් නිතරම ඉටුවිය යුත්තේ අපි මහජනතාවගෙන් යැපෙනවා නම් මහනතාවට අපි සේවයක් කළ යුතුයි. ඒ සේවය කරන්නේ නම් අපි ධර්ම ශාලාව තුල ඒ සේවය කළ යුතුයි. රටට සේවයක් කිරීමට නම් අපිට ඔය පාර්ලිමේන්තු ආදී මන්ත්‍රීකම් අවශ්‍ය නැහැ. අපට රාජ්‍ය පාලනය අවශ්‍ය නැහැ. අපි ජනතාව පාලනය කරන්න ඕනේ. ඒක කරන්න අපි පාර්ලිමේන්තු යන්න ඕනෙ නැහැ. ඒක පන්සලේ හිඳගෙන කරන්න පුළුවන්. මේකට හෙට වෙනකොට බොහෝ දෙනෙක් මට දොස් එවයි. අපේ හැදෙන වැඩෙන භික්ෂූන් වහන්සේලාට මං කියන්නේ ඔය පාර්ලිමේන්තුවලට ඔය ප්‍රාදේශීය සභා වලට ඕවට මේවට ගිහිල්ල නින්දා අපහාස අහන්න ඕනෙ නෑ."

අස්ගිරි මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමියෝ මෙසේ වදාලේ අස්ගිරි විහාරයට වසර 700 ක් පිරීම නිමිත්තෙන් ඊයේ පැවැති රාජ්‍ය උත්සවයේදීය. එම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනායක නියංගම විජිතසිිරි හිමියෝද එම පාර්ශවයේ සියළුම නායකා කාරක සංඝයා වහන්සේලාද සහභාගී වී සිටියහ.

මේ අතර ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී භික්ෂුවක් වන අතුරලියේ රතන පවසා තිබුනේ නායක හිමිවරුන් කියන්නේ නම් තමා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බවයි.

ඉහත යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආ විජයදාස රාජපක්ෂ මහතා පවසා තිබුනේ මෙම යෝජනාව ගෙන ඒමට ප්‍රථම තමා මේ පිළිබඳ මල්වතු අස්ගිරි පාර්ශවයන්ගේ නායක හිමිවරුන්ගේ අදහස් විමසූ බවත් උන් වහන්සේලා ඊට තම කැමැත්ත දුන් බවත් ය.

කිතුණු සභාව මීට පෙර රාජපක්ෂ මහතාගේ යෝජනාවට පක්ෂව නිල වශයෙන් ප්‍රතිචාර දක්වා තිබිණ.

Share this article with your friends