Chitika Smowtion 468x60


Wednesday, June 13, 2012

ලන්ඩන් සංචාරය ගැන ජනපති කෝපයෙන්


පසුගියදා ලන්ඩන් සංචාරයේදී තමන්ට සිදු වූ අවමානය පිළිබඳව ජනාධිපතිවරයා බලවත් සේ කෝපයට පත්ව සිටින බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි. එම සංචාරය පිළිබඳව මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා ඔහුගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවටද ජනාධිපතිවරයා සහභාගි නොවීය.
ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධානී බන්දුල ජයසේකර මහතා දේශීය මාධ්‍ය ආයතනයේ ප්‍රධානීන් වෙත දැනුම් දී තිබුණද ජනාධිපතිවරයා එය මගහැරියේය.
තමාට ලන්ඩන් සංචාරය ගැන කීමට දෙයක් නොමැති බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට අද උදැසන දැනුම් දී ඇති ජනාධිපතිවරයා, 'ඒක සංවිධානය කළ එවුන්ටම උත්තර දෙන්න කියන්න' යැයි දැඩි ආවේගයෙන් යුතුව ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා, එළිසබත් මහරැජිනගේ දියමන්ති ජුබිලියට නොයායුතුව තිබූ බව ඔහුට හිතවත් මාධ්‍ය ප්‍රධානී කීපදෙනෙකුම පසුගිය දා ප්‍රකාශ කර තිබේ. රාවය පුවත්පතේ වික්ටර් අයිවන් සහ ඉරිදා ලංකාදීප පුවත්පතේ කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත මහතා ඔවුන් අතුරින් ප්‍රධාන වේ.
මෙම තත්ත්වය යටතේ ජනාධිපති ලේකම්වරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, එම අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න අමුණුගම සහ බි්‍රතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් සමඟ එක්ව අද පෙරවරුවේ දී මාධ්‍ය ප්‍රධානීන් හමුවිය. මෙම මාධ්‍ය හමුව සඳහාම බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නොනිස් මහතා ලන්ඩනයේ සිට කොළඹට පැමිණ තිබේ.
එල්ටීටීඊ සංවිධානය මුළුමනින්ම අතුගා දැමූ ජනාධිපතිවරයා, එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාවට කිසිසේත් බිය නොමැති බව ඇඟවීමට ලලිත් වීරතුංග මහතා සහ සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා පැය එකහාමාරකට වඩා උත්සාහ කර තිබේ. ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරය අතිශයින් සාර්ථක බව ඔවුන් පවසා ඇත.
ජනාධිපතිවරයා වෙනුවෙන් තමන් විසින් සංවිධානය කළ වැඩ සටහන් හතෙන් හයක්ම අතිශයින් සාර්ථක වූ බව බි්‍රතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා මෙහිදී පැහැදිලි කර ඇත. අසාර්ථක වූ වැඩසටහන් සම්බන්ධයෙන් සන්ඩේ ලීඩර් පුවත්පතේ නියෝජිතයා කළ විමසීමේදී කෝපයට පත් ලලිත් වීරතුංග මහතා, ඒ සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය ආර්ථීක කොමිසමෙන් විමසන ලෙස දැනුම් දී ඇත.
ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරය පිළිබඳව දේශීය මාධ්‍ය සියල්ල පාහේ යහපත් ආකාරයෙන් වාර්තා කර තිබියදී සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක් පමණක් ඒ සම්බන්ධයෙන් වෙනස් අදහසක් ඉදිරිපත් කර තිබීම ජනාධිපති ලේකම්වරයාගේ දෝෂ දර්ශනයට ලක් වී ඇත. එම පුවත්පත කුමක්දැයි ප්‍රකාශ නොකළද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ සහභාගි වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඇන්තනී ඩෙවිට් මහතා ඉලක්ක කර ගනිමින් ජනාධිපති ලේකම්වරයා එම විවේචනය සිදු කර ඇත.
ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවට නොපැමිණියේ එතුමා හෙට යළි විදේශ ගත වීමට සූදානම් වන නිසා බව පවසා ඇති වීරතුංග මහතා, ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් අනවශ්‍ය විවේචන නොකරන්නැයි මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.
කෙසේ වුවද රාවය පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන් මහතා පසුගිය ඉරිදා රාවය කතුවැකිය මගින් ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරය විවේචනය කර තිබේ. එම කතුවැකිය පහත පළවේ.
රැජිනගේ ජුබිලිය හා රටේ අවාසනාව
ශ්‍රී ලංකාව සිය කැමැත්තෙන් ලෝකයා ඉදිරියේ හාස්‍යයටද අවමානයටද ලක්වෙමින් තිඛෙන්නේය. මෙම අවාසානාවන්ත තත්ත්වයට විශේෂ වශයෙන් විදේශ ඇමතිද, එම විෂය මෙහෙයවන සියලූදෙනාද පොදුවේ ආණ්ඩුවද වගකිව යුතුය.
රැජිනගේ ජුබිලි උත්සවය, පොදු රාජ්‍ය මණ්ඩල රටවල නායකයන් එකතු වූ උත්සවයක් නොවීය. පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය පොදු රාජ්‍ය මණ්ඩල රටවල රාජ්‍ය නායකයන්ට චාරිත්‍රානුකූලව ආරාධනා කර තිබුණද පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් ප්‍රධාන රටවල නායකයන් කිසිවකු (ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව, කැනඩාව වැනි) එම උත්සවයට සහභාගි වූයේ නැත. සහභාගි වූ රාජ්‍ය නායකයන් කිහිපදෙනොගෙන් වැඩි පිරිසක් එක්සත් රාජධානියෙන් විවිධ ප්‍රයෝජන ලබන ඉතාමත් පුංචි රටවල නායකයෝය. මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහභාගි නොවිය යුතුව තිබුණේය.
විශේෂයෙන්ම යුරෝපීය රටක පැවැත්වෙන මෙවැනි උත්සව අවස්ථාවන් විශාල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට අවස්ථාවක් කර ගැනීමේ හැකියාව දෙමළ ඩයස්පෝරාවට තිඛෙන්නේය. මීට පෙරද එවැනි දේවල් සිදුවිය. මේ අවස්ථාවේදී වඩා විශාල උද්ඝෝෂණ ඇතිවිය හැකි බව විදේශ කටයුතු විෂය පිළිබඳව ජනාධිපතිවරයාට උපදෙස් දෙන මෝඩ උපදේශකයන් කල්තියා දැනගත යුතුව තිබුණි. මේ රටේ ප්‍රශ්න විසඳා ගන්නා තෙක් ඔවුන්ට වාසිදායක සංදර්ශන පැවැත්වීමට ඉඩදෙන අවස්ථාවලින් මගහැර සිටිමේ වැදගත්කම තේරුම්ගත යුතුව තිබුණි.
අවසානයේදී විය යුතු අවලස්සන හැම දෙයක්ම සිදුවිය. දෙමළ ඩයස්පෝරාවද තමන්ගේ පිරිහෙන ශක්තිය වර්ධනය කර ගැනීමට එය කදිම අවස්ථාවක් කරගත්තේය. එසේම ශ්‍රී ලංකාව උපරිම මට්ටමකින් අවමානයට ලක්කිරීමට එය අවස්ථාවක් කරගත්තේය.
ආණ්ඩුව යුද්ධ කරන්න හොඳින් දැන සිටියේය. එහෙත් විදේශ කටයුතු පිළිබඳ විෂයයේදී නම් මළපොතේ අකුරත්වක් දන්නා බවක් පෙනෙන්නේ නැත. අනාගනිමින් තිඛෙන්නේ නාගන්නා තරමටය. අවශ්‍ය නම් ආණ්ඩුවක් වශයෙන් අවමානයට ලක්වීමේ අයිතියක් ආණ්ඩුවට තිබිය හැකිය. එහෙත් රට අවමානයට ලක්කිරීමේ අයිතියක් ආණ්ඩුවට නැත. ආණ්ඩුව විදේශ කටයුතු විෂයයේදී දිගන් දිගටම කරමින් සිටින මෝඩ දේවලින් රටට සිදුවන අවමානයේ තරම තේරුම් ගැනීමට ආණ්ඩුව අසමත් නම් එය සැලකිය හැක්කේ ජාතික ඛේදවාචකයක් වශයෙනි. මේ රටේ ජනයාගෙන් සැලකිය යුතු පිරිසක් ජීවත් වන්නේ එතෙර රටවලය. ඔවුන්ට අවමානයකින් තොරව ජීවත්වීමේ අයිතිය ආරක්ෂා විය යුතුය.
මීට ටික දිනකට ඉහතදී එක්සත් රාජධානියේ උසස් අධිකරණයක් ලංකාවට ආපසු යැවීමට සූදානම් කර සිටි දෙමළ තරුණයන් 40ක් ලංකාවට ආපසු යැවීම තහනම් කැරෙන නියෝගයක් පැන විය. මේ ආකාරයට ලංකාවට එවන අය කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන අමානුෂික වදහිංසා පමුණුවා ඇති බවට අධිකරණය ඉදිරියේ පෙත්සම්කරුවන් තහවුරු කිරීම මේ නියෝගය ලබාදීම කෙරෙහි බලපෑ හේතුව විය. මෙහි ඇත්ත නැත්ත අපි නොදනිමු. උසාවි නියෝගයට බලපෑ දෙමළ බුද්ධි අංශයේ සාමාජිකයකු ලෙස සැලකෙන මෙම දෙමළ තරුණයා බි්‍රතාන්‍ය ආණ්ඩුව විසින් ලංකාවට එවා තිඛෙන්නේ 2011 ජූනි මාසයේදීය. එය සත්‍යයක් නම් එය මුළු රටම නින්දාවට ලක් කරන තත්ත්වයක් ලෙස සැලකිය හැකි අතර දිගින් දිගට මෙවැන් දේවල් සිදුවන්නේ නම් කිසිසේත්ම රටේ අනාගතය යහපත් විය නොහැකිය.
අපේ රටේ ප්‍රතිරූපය අවලස්සසන කරගනිමින් තිඛෙන්නේ අප විසින්මය. එම තත්ත්වයෙන්ගේ යහපත් වෙනසක් ඇති කරනවා වෙනුවට සිදුවෙමින් තිඛෙන්නේද රටේ ප්‍රතිරූපය අවලස්සන කරගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙනයෑමය. මෙම විනාශකාරී තත්ත්වයට විදේශ කටයුතු ඇමති සේ ම එම විෂය පිළිබඳව ආණ්ඩුවට උපදෙස් දෙන අය ද වගකිවයුතුය. ඔවුන් සියලූදෙනා මෙම තනතුරුවලින් පහකොට සුදුසුකම් ඇති වෘත්තීය පළපුරුද්දක් ඇති ඉදිරි දර්ශනයක් ඇති සුදුසු පිරිසක් ඒ තැන්වලට ගෙනා යුතුය.


Source - lankanewsweb.com

Share this article with your friends