Chitika Smowtion 468x60


Wednesday, June 13, 2012

යාල වනෝද්‍යානයේ හොරෙන් ගස් කැපූ සාත්තරකාරයින්ට දේශපාලන රැකවරණ


යාල වනෝද්‍යානයට අයත් කතරගම - සිතුල්පහුව මාර්ගයේ පිහිටි වන ඉඩමක අනවසරෙන් ගස් කපමින් සිටිය දී පසුගිය ඉරිදා අත් අඩංගුවට පත් පිය පුතු දෙදෙනෙකු දේශපාලන බලපෑම් හමුවේ නිදහස් කර යැවීමට කතරගම පොලීසියට සිදුවී තිබේ. මෙසේ අත්අඩංගුවට පත්වී ඇත්තේ ජනාධිපතිවරයාගේ ජෝතිෂ්‍ය උපදේකවරයකුවන හෝමාගම ඇල්බට් සුදසිංහ හා ඔහුගේ පුත් මින්දුල සුදසිංහ යන මහත්වරුන්ය.
යාල වනෝද්‍යානයට ඇතුල් වූ පිරිසක් ගස් කපා දමා එළිපෙහෙළිකරන බවට ප්‍රදේශවාසීන් විසින් වන සංරක්ෂණ නිධාරීන්ට දැනුම් දී ඇති අතර වහාම එම ස්ථානයට පැමිණි වනසංරක්ෂණ නිලධාරීන් ගස්කපමින් සිටි පුද්ගලයින් සියලූ දෙනා අත්අඩංගුවට ගෙන කතරගම පොලීසිටය බාර දී තිබේ. අනතුරුව සැකකාර ජෝතිශ්‍ය වේදීන් තිදෙනා පොලිස් රිමාන්ඩ් බාරයට පත් කර තිබේ.
ගස්කොළන් කපා දැමූ ඉඩම, ජගත් පුෂ්පකුමාර අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත අවුරුදු 23ක බද්දට තමා වෙත රජය විසින් පවරාදී ඇති බව සඳහන් කරමින් ලේඛනයක් ඇල්බට් සුදසිංහ මහතා විසින් පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති බවත් එය ව්‍යාජ ලේඛනයක් බව වන ජීවී නිලධාරීන් තහවුරු කර තිබේ.
කෙසේ වුවද සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ් බාරයට පත් කර විනාඩි කීපයක් යෑමට පෙර පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා වහාම සැකකරුවන් දෙදෙනා නිදහස් කරන්නැයි බැන වැදී ඇත. අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති ජනාධිපතිවරයාගේ ජෝතිශ්‍ය කටයුතු සම්බන්ධීකාරක අමාත්‍ය මර්වින් සිල්වා මහතා සැකකරුවන් දෙදෙනා වහාම නිදහස් කරන ලෙසත්, නැතහොත් තමා පැමිණ ඔවුන් නිදහස් කරගෙන යන බවටත් තර්ජනය කර තිබේ.
ඒ අනුව සැකකාර ජෝතිශ්‍යවේදීන් දෙදෙනා නිදහස් කිරීමට කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇත. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් විරෝධය පළකරමින් වන සංරක්ෂණ නිලධාරීන් විසින් විෂය භාර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා වෙත ලිපියක් බාර දී තිබේ.
මීට කලකට ඉහතදී කුලී නිවසක පදිංචිව සිටි හෝමාගම සුදසිංහ සාත්තරකරුවන් මේවනවිට එම ප්‍රදේශයේ සුවිශාල නිවාස 05ක සහ නුවරඑළියේ දැවැන්ත බංගලාවක හිමිකරුවන් වේ. ජනාධිපතිවරයාගේ දැන හැඳුනුම්කමත් අමාත්‍ය මර්වින් සිල්වා මහතා සමඟ පවත්වාගෙන යන සමීප සම්බන්ධතාවයත් යොදා ගනිමින් ඔවුන් මේවනවිට දැවැන්ත ජෝතිශ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. එක් අයකුගේ හදහන බැලීම සඳහා රු. 5000ක් අයකරන සුදසිංහ පියපුතු දෙදෙනා නිවසට වාස්තු දෝශ සොයා බැලීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් අය කරයි.


Source - lankanewsweb.com

Share this article with your friends