Chitika Smowtion 468x60


Sunday, June 24, 2012

'ආරක්ෂක ලේකම් සොයා බැලුවේ මගේ ආරක්ෂාව ගැන නොවේ'


තමන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට තර්ජනයක් එල්ල වී ඇති බවට පොලිසියට පැමිණිලි කිරීමෙන් හා ජනමාධ්‍ය දැනුවත් කිරීමෙන් අනතුරුව දුරකථනයෙන් කථා කළ ආරක්ෂක ලේකම් වරයා තම ආරක්ෂාව පිළිබඳව විමසනු වෙනුවට ආරක්ෂක අමාත්‍යාංශය අපකීර්තියට ලක් කොට ඇති බවට චෝදනාවක් එල්ල කළේ යැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති වරයා ප්‍රකාශ කරයි.
සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සංදේශය හා කියා සිටියේ ඉකුත් සිකුරාදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමන් දුරකථනයෙන් ඇමතූ බවයි.
ආරක්ෂක ලේකම් වරයා තමන්ට දුරකථනයෙන් ඇමතූයේ තමන්ගේ පවුලේ සාමාජිකයන්ට එල්ලවී ඇති තර්ජන සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරුන්ගේ සංගමයක් විසින් යවන ලද ලිපියකින් අනතුරුව බව සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.
ඉකුත් සතියේ යැවුණු එම ලිපියෙන් ප්‍රකාශ කොට තිබුණු පරිදි ආරක්ෂක අමාත්‍යංශයේ යැයි හඳුන්වාගත් පිරිසක් ආචාර්ය දේවසිරි ගේත් පවුලේ සාමාජිකයන්ගේත් තොරතුරු විමසා තිබේ.
තර්ජනයක් සේ ගැනෙන එම තොරතුරු සෙවීමට ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ කරගැනීම සාධාරණ නැති බව ආරක්ෂක ලේකම්වරයා පැවසූ බවයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති වරයා ප්‍රකාශ කරන්නේ.
'අමාත්‍යාංශයට අපකීර්තියක්'
ආරක්ෂක අමාත්‍යංශයේ පිරිසක් ඔහුගේ නිවස අසලට පැමිණ තොරතුරු සොයා බැලූ බවට එම ලිපියේ සහ පොලීසියට කර ඇති පැමිණිල්ලේ ඇති සඳහන නිවැරදි නොවන බව ආරක්ෂක ලේකම් වරයා සභාපතිවරයාට පවසා තිබේ.
"ඒ වගේම එතුමා කිවුව යම්කිසි විදියක ආරක්ෂක අමාත්‍යාංශයට යම් අපකීර්තියක් ඇතිවෙනවා ඒක පිළිබඳව එතුමාගේ අකමැත්ත අප්‍රසාදය පළකරන්න වගේ තමයි එතුමා කථා කරලා තිබුනේ," ආචාර්ය දේවසිරි ප්‍රකාශ කළේය.
පසුගිය සිකුරාදා මාධ්‍ය ඇමතූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, ලබන මස පැවැත්වීමට නියමිත වැඩ වර්ජනය බිය ගැන්වීම් මගින් කඩා කප්පල් කිරීමට උත්සාහ දරන බවටආණ්ඩුවට චෝදනා කළේය.
මෙහිදී විශේෂයෙන්ම තමන්ට පෞද්ගලිකවම තර්ජනයක් ඇති බවද, ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි පැවසීය.
ආරක්ෂක අමාත්‍යංශයේ යැයි හදුන්වා ගත් පුද්ගලයන් කිහිපදෙනකු විසින් අසල්වැසියන්ගෙන් තම දියණිය පාසල් යන එන වේලාවල් සහ ඇය අධ්‍යාපනය ලබන පාසල පිළිබඳව විමසා ඇති බව පැවසූ ඔහු පිට රට යාම සඳහා සූදානමක් ඇති නිසා ඒ ගැන කරුණු සොයන බව පවසා ඇතැයි සඳහන් කළේය.
දෙවැනි අවස්ථාවේදී, ආරක්ෂක අමාත්‍යාංශයේ රැකියාවක් සඳහා ඇය අයදුම්පත්‍රයක් යොමු කොට ඇති නිසා ඒ ගැන කරුණු සොයා බලන බව කියා ඇති බවත් ආචාර්ය දේවසිරි ප්‍රකාශ කළේය.
උසස් පෙළ අධ්‍යාපනය ලබන තම දියණියට එබඳු කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පවසන ඔහු මහරගම පොලීසියට පැමිණිලි කළ බවද සඳහන් කළේය.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ආචාර්ය දේවසිරිට දුරකථනයෙන් අමතා තිබෙන්නේ ඉන් අනතුරුවයි.
"එහෙම ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඒ විදියට එවන්නේ නෑ පිරිස්, එතකොට අපේ වගකීම තමයි ඒ අයව අල්ලලා පොලීසියට භාර දෙන එක කියල එතුමා කිවුව," ආචාර්ය දේවසිරි බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.
"කනගාටුවට කාරණේ තමයි, එතුමා කිසිම වෙලාවක ඒකෙන් ආරක්ෂක අමාත්‍යංශයට වෙච්ච අපකීර්තිය ගැන කථා කරා මිසක් පුරවැසියෙක් විදියට මගේ ජීවිතේට ඇතිවුණු තර්ජනය පිළිබඳව එතුමා ප්‍රකාශ කළෙත් නෑ, රටේ ආරක්ෂක කටයුතු භාර ප්‍රධානියා හැටියට එතුමාට කරන්න පුළුවන් මොනවාද කියල කිවුවේත් නෑ," ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳව විමසීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක ලක්ෂමන් හුළුගල්ල ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
- BBC Sandeshaya


Source - lankanewsweb.com

Share this article with your friends