Chitika Smowtion 468x60


Friday, June 8, 2012

ඉන්ධන මිල වහා පහත හෙළනු!


ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල වාර්තා ගත ලෙස පහළ යන තත්වයක් තුළත් ලංකාවේ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නැත. පෙබරවාරි මස 12 වැනිදා ආණ්ඩුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින්ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 31කින්ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 35කින්ද ඉහළ දැමුවේය. එසේ මිල ඉහළ දැමීමට හේතුව ලෙස ආණ්ඩුව ඉදිරිපත් කළ හේතුව ලෝක වෙළඳ පොළේ බොර තෙල් මිල ඉහළ යාමයි. එම වකවානුවේදී ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල ඉහළ ගිය මුත් ලංකාවේ ඉන්ධන මිල ඉහළ ගියේ ඊට වඩා වැඩි ප්‍රතිශතයකිනි. උදාහරණයක් ලෙස බොර තෙල් මිල 25%කින් ඉහළ ගිය තත්වයක් තුළ අප රටේ ඩීසල් මිල 37%කින් ඉහළ දමා තිබිණි. ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීමේ එකම හේතුව ලෝක වෙළඳපොළේ මිල උච්ඡාවචනය නොවන බවත් මේ පිටුපස පවතින්නේ ජනතාව මත අසීමිත ලෙස බදු බර පැටවීමේ ප්‍රතිපත්තිය බවත් පැහැදිලි විය.
දැන් ඒ පිළිබඳ තවත් සාක්ෂියක් ඉදිරිපත්වී ඇත්තේ ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටෙද්දී ආණ්ඩුව රට තුළ ඉන්ධන මිල අඩු නොකිරීම නිසාය. මේ වන විට ලෝක වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල 20%කටත් වඩා වැඩි ප්‍රතිශතයකින් පහත වැටී ඇත. ජුනි පළමු වැනිදා වන විට ඇමරිකානු වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 86.53 දක්වා පහත වැටුණු අතර එය 2011 ඔක්තෝබර් මාසයෙන් පසු වාර්තා වූ අඩුම අගයයි. සිංගප්පූරුවෙන් ආනයනය කරන පිරිපහදු කළ ඛනිජ තෙල් මිල විශාල ලෙස පහත වැටී ඇත. ඔක්ටේන් 90 පෙට්‍රල් බැරලයක මිල මැයි මස මුල ඩොලර් 130ට තිබූ අතර එය ජුනි මස මුල වන විට ඩොලර් 115 දක්වාද, ඔක්ටේන් 95 පෙට්‍රල් බැරලයක මිල මැයි මස මුල ඩොලර් ඩොලර් 130 සිට ජුනි මුල වන විට ඩොලර් 118 දක්වාද, ඔටෝ ඩීසල් බැරලයක මිල මැයි මස මුල ඩොලර් 134 සිට ජුනි මුල වන විට ඩොලර් 122 දක්වාද භූමිතෙල් බැරලයක මිල මැයි මස මුල ඩොලර් 133 සිට ජුනි මුල වන විට 121 දක්වාද පහත වැටී ඇත. ලෝක වෙළඳපොළ පෙන්වමින් ඉන්ධන මිල ඉහළ නංවන ආණ්ඩුව මේ මිල පහළ යාම හමුවේ නිශ්ශබ්දය. මෙසේ තෙල් මිල අඩුවීම හේතුවෙන් ආණ්ඩුව අධික ලාභ එකතු කර ගන්නා අතර ජනතාව බදු බරෙන් පීඩාවට පත් කරමින් සිටී. ලෝක වෙළඳ පොළේ තෙල් මිල පහත වැටී තිබියදීත් පසුගිය මැයි 31 වැනිදා අයි.ඕ.සී. සමාගමේ ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින් ඉහළ යාම මීට හොඳ නිදසුනකි.
ආණ්ඩුව නව ලිබරල් ධනවාදී ආර්ථීක ප්‍රතිපත්තිය මත පදනම්ව ක්‍රියාත්මක වන අතර නව ලිබරල් ධනවාදයේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ නිෂ්පාදන ආදායම් මත නොව ජනතාවගෙන් එකතු කරන බදු මත ර\ පැවතීමයි. ඉන්ධන මිලට අදාළව ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකාරිත්වය අපට පෙන්වා දෙන්නේ ආණ්ඩුව නව ලිබරල් ධනවාදයේ දෙවන ඉනිමට සැරසෙන්නේ ජනතාව කබලෙන් ලිපට ඇද දමමින් බවය. මේ අතර ආණ්ඩුවේ දූෂණයන්හි හා නාස්තියේ බරද ජනතාව මත පැටවී තිබේ. පසුගිය කාලයේ ප්‍රමිතියෙන් තොර ඉන්ධන මෙටි්‍රක් ටොන් 7500ක් මෙරටට ගෙන ඒම නිසා සංස්ථාවට රුපියල් ලක්ෂ 30ක මුදලක් අහිමි වී විදේශ සංචිතයේ ඩොලර් 78,97,500ක මුදලක් අනවශ්‍ය ලෙස සිර කර තැබීමට සිදු විය. මෙම අලාභයේ වන්දිය ගෙවීමට සිදුව ඇත්තේද රටේ පොදු ජනතාවටය. ආණ්ඩුවේ නව ලිබරල් උපාය මාර්ගයේත්, පසුගාමීත්වයේත් අවසන් ප්‍රතිඵලය මෙය බව ඉතා පැහැදිලිය.
ලෝක වෙළඳ පොළේ බොර තෙල් මිල පහත වැටීමට සමානුපාතිකව ඉන්ධන මිල, බස් ගාස්තු, දුම්රිය ගාස්තු හා අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්හි මිල වහාම පහත හෙළන ලෙස බල කර සිටින අපි, අයිතීන් දිනා ගැනීම සඳහා සටන් වදින ලෙසද, නව ලිබරල් ධනවාදී උපාය මාර්ගයෙන් ඉවත් කර රට සමාජ-ආරථීක ප්‍රතිපත්තිමය වෙනසක් කරා ගෙන යාම වෙනුවෙන් පෙළ ගැසෙන ලෙසද ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
දේශපාලන මණ්ඩලය
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2012.06.07


Source - lankanewsweb.com

Share this article with your friends