Chitika Smowtion 468x60


Thursday, September 20, 2012

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් අගය කලයුතු වැඩක්


සරසවි වසා තිබියදී රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හබරාදුව ප්‍රදේශ‍යේ දුෂ්කර රෝහලක් ප්‍රතිසංස්කරණය කර ඇති බව අප වෙත වාර්තා වේ.

පහතින් දැක්වෙන්නේ ඔවුන් අප වෙත එවා තිබූ සටහනයි.

වර්තමානයේ සිට අනාගතය දක්වා දිවෙන්නා වූ පාලමක් වේ නම් එම පාලමේ අත්තිවාරම සැකසෙන්නේ විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය හදාරන සුවහසක් විද්‍යාර්ථීන්ගේ දෑතෙනි.

මෙය අතිශෝක්තියක් නොවන්නේ එයට සාක්ෂි ඕනෑ තරම් මෙරට විශ්වවිද්‍යාල ආරම්භ වූ දා සිට අද දක්වා ඇත. නමුත් වර්තමානයේ විශ්වවිද්‍යාල සිසුන්ට සමාජය විසින් ලබා දෙන අර්ථකථනය කුමක් ද ? මෙය සලකා බැලීම වටී.

පළමු වසර අවසානයේ ගිංතොට ධර්මපාල විදුහල ප්‍රති සංස්කරණය ලා අති මහත් දායකත්වයක් දැක්වූ අප ශිෂ්‍ය කණ්ඩායමේ මෙවර අවධානය යොමු වුයේ හබරාදුව ප්‍රදේශ‍යේ දුෂ්කර රෝහලකට ය.

ගම් වැසියන් දිනපතා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන මෙම රෝහල වග කිව යුතු කිසිවකුගේ අවධානය යොමු නොවී ඉතා දීර්ඝ කාලයක් අබලන් තත්ත්වයේ පැවතුන වාට්ටුව පිළිසකර කර දෙන මෙන් එම රෝහලේ අධ්‍යක්ෂක තුමා කල ඉල්ලීමට අනුව 2012 අගෝස්තු මස 22 වැනිදා බ්‍රහස්පතින්දා දින අප ශිෂ්‍ය කණ්ඩායමේ සහෝදර සහෝදරියන් ප්‍රති සංස්කරණ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

කඩතොළු වී ජරාජීර්ණ වී ගිය වාට්ටුවේ බිත්ති පිළිසකර කර තීන්ත අලේප කෙරුනේ අපගේම දෑත් වලිනි. මීට අමතරව එම වාට්ටුවේ තිබු අබලන් ඇඳන්, කබඩ්, විදුලි පංකා ආදී සියල්ල අලුත්වැඩියා කොට තීන්ත ආලේප කොට අංග සම්පුර්ණ වාට්ටුවක් බවට පත් කළෙමු.

2012 අගෝස්තු මස 25 වැනිදා සෙනසුරාදා දින අප සහෝදර සහෝදරියන් එම වාට්ටුවේ වැඩ කටයුතු සියල්ල අවසන් කරන් විට ගම් වැසියන්ගේ හා රෝහල් කාර්ය මණ්ඩලයේ ඉමහත් පැසසුමට ලක්ව තිබුණි . අබලන්ව ජරාජීර්ණ වී ගිය වාට්ටුව ප්‍රති සංස්කරණය කොට නැවත භාවිතා ගැනීමට හැකි වන් පරිදි රෝහල් කාර්ය මණ්ඩලයට‍ භාර කෙරුනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාගේ සැබෑ යථාර්ථවාදීත්වය ඔවුන්ට‍ පසක් කර දෙමිනි.

මේ සදහා අවශ්‍ය ප්‍රතිපාදන සැපවූයේ අප ශිෂ්‍ය කණ්ඩායමේ සොයුර සොයුරි වන අතර වැය වූ සම්පුර්ණ ද්‍රව්‍ය සදහා වැය මුදල රු 30,000 පමණ වුවත් ශ්‍රම දායකත්වය හා සමග සලකා බලන කල එය මුදලින් මිල කල නොහැකි බව සියල්ලන්ගේම අදහස විය.

දින සතරක් වැනි කෙටි කාලයක් තුල සාර්ථකව නිමා කල හැකි වූ අපගේ කර්ත්‍යවයේ අවසන් දිනයේදීය අප සහෝදර සහෝදරියන්ගේ නෙතඟට කඳුළු පැන නැගුනේ දෑතින් පිළිසකරවූ වාට්ටුව තුල තවත් බොහෝ කාලයක් සුවපත් වන රෝගීන් සිහියට නැගීමෙනි.

විශ්වවිද්‍යාල තුල අනෙකුත් පීඨ මගිනුත් මෙවැනි තවත් බොහෝ ක්‍රියාකාරකම් සිදු කරන මුත් විවිධ බලපෑම් මගින් ඒවා සමාජ ගත වීම වලක් වනු ලබන හෙයින් එම කිසිවක ගෞරවය විශ්වවිද්‍යාල සිසුවාට නොලැබේ. එහෙයින් අප විසින් මල්ඵල ගන්වනු ලැබූ මේ සාර්ථක ව්‍යායමය සමාජය තුල විශ්වවිද්‍යාල සිසුවා කෙරේ පවතින විවිධ දුර්මත දුරු කර හැරීමට මහත් රුකුලක් වන බව අප තරයේ විශ්වාස කරමු.

සටහන අප වෙත යොමුකළේ - කන්නගර දරුවෝ ෆේස්බුක් පිටුව තුලිනි.









Source: http://www.gossip9.com/2012/09/blog-post_278.html#ixzz27Ctst6cx

Share this article with your friends